රට පාලනය කිරීමට අදාල තීන්දු ගන්නේ පැලවත්තේ පිහිටි ජ.වි.පෙ මූලස්ථානයේදී බවට නැගෙනා චෝදනා පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සිය අදහස් දක්වයි .
ඉකුත් පෙබරවාරි හතර වෙනිදා ස්වාධීන රූපවාහිනියේ පැවති සාකච්චාවකට එක්වෙමින් ඔහු පැවසූවේ ආණ්ඩුකරණය පිළිබඳව ඇතැම් තීන්දු තීරණ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ගන්නා බවත් ඊට හේතුව ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණ රැස්වන්නේ එම කාර්යාලයේදී වීම බවත් ය.
රට කරනේ ආණ්ඩුව බවත්, ඒ ආණ්ඩුව මෙහෙයවන්නේ දේශපාලන ව්‍යාපාරයකින් බවත්, ඒ දේශපාලන ව්‍යාපාරය රැස්වෙන්නේ පැලවත්තේ පිහිටි ජ.වි.පෙ ප්‍රධාන කාර්යාලයේ බවත් ඒ අනුව ආණ්ඩුකරණයට පැලවත්ත සම්බන්ධ බවත් ඔහු පෙන්වා දුන්නේය.
අනුර කුමාර දිසානායක රටේ ජනාධිපති මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායකයාද වන බවත් ආණ්ඩුව ගොඩනැගිම සඳහා ප්‍රතිපත්ති තීරණ ගනු ලැබුවේද පැලවත්තේදී බවත් ඔහු එහිදී පැවසීය .
පැලවත්ත ආණ්ඩුකරණයට සම්බන්ධ මුත් තම පක්ෂයේ තනි පුද්ගලයන් නැතිබවත් , ඕනෑම පුද්ගලයෙකුට අදහස් ඉදිරිපත් කිරීමට මෙන්ම ඒවාට විරුද්ධවීමට ඉඩ ඇතිබවත් ටිල්වින් සිල්වා පැවසීය. එහෙත් අවසානයේ සියළු දෙනා පොදු අදහසකට එකඟවන බවද ඔහු අවධාරණය කළේය.