මහජන අභිචෝදක අධ්‍යක්ෂවරයෙකුගේ කාර්යාලයක් පිහිටුවීමට යෝජනා කර ඇති පියවරට නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ සංගමය විසින් විරෝධය පළ කර ඇත.
එවැනි පියවරක් මඟින් දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය, කාර්යක්ෂමතාව සහ වෘත්තීය ප්‍රමිතීන් බිඳ වැටෙනු ඇති බව සංගමය ප්‍රකාශ කරයි.
පැවති විශේෂ මහ සභා රැස්වීමකදී, දෙපාර්තමේන්තුව තුළ ස්වාධීනත්වය, විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගත් ක්‍රියාමාර්ග සඳහා තමන් පූර්ණ සහයෝගය දක්වන බව යෝජනාවක් මඟින් අවධාරණය කළ සංගමය, වෙනම අභිචෝදක කාර්යාලයක් නිර්මාණය කිරීමට දැඩි ලෙස විරුද්ධ වන බව ඒකමතිකව තීරණය කළේය.
යෝජනාවට අනුව, නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ අපරාධ යුක්ති විනිශ්චය ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් මහජන අභිචෝදක අධ්‍යක්ෂ කාර්යාලයක් පිහිටුවීම පිළිබඳව සලකා බැලීම සඳහා පියවර ගනිමින් සිටින බව සංගමය නිරීක්ෂණය කර ඇත.
කෙසේ වෙතත්, අභිචෝදක කර්තව්‍යය දෙපාර්තමේන්තුවෙන් වෙන් කිරීමෙන් එම අරමුණු සාක්ෂාත් කරගත හැකි බව සනාථ කිරීමට ප්‍රයෝගික හෝ විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවට සංගමයේ සාමාජිකයෝ මෙහිදී ප්‍රකාශ කළහ.