අප්‍රේල් මාසයේදී පමණක් ‘ විදේශ ගත ශ්‍රමිකයින් ‘ ඩොලර් මිලියන 543.8ක් එවලා

විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මේ වසරේදී මුල් මාස හතර තුළදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2.079ක මුදල් එවා ඇති අතර අප්‍රේල් මාසයේදී පමණක් ඩොලර් මිලියන 543.8ක් එවා තිබෙනවා.

පසුගිය වසරේ මුල් මාස හතර සමග සන්සන්දනය කර බලන විට විදේශ ගත ශ්‍රමිකයින් මේ වසරේ මුල් මාස හතර තුළදී එවූ විදේශ විදේශ ප්‍රේශණ ප්‍රමාණය සියයට 11.4කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා මගින් තහවුරුව ඇත්තේ.

පසුගිය වසරේ අප්‍රේල් මාසය සමග සන්සන්දනය කර බලන විටදී මේ වසරේ අප්‍රේල් මාසයේදී පමණක් රටට ලැබුණ විදේශ ප්‍රේශණ ප්‍රමාණය සියයට 19.7කින් ඉහළ ගියා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍යාංශය භාරගැනීමෙන් පසුව මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 10,807ක මුදලක් විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවා තිබෙනවා.

අමාත්‍යවරයා, අමාත්‍යාංශය භාරගත් අවස්ථාව වන විට විදේශ ගත ශ්‍රමිකයින් මාසිකව මෙරටට එවන විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 200 දක්වා පහළ වැටී තිබුණා.

ඒ වන විට පැවති තෙල් පෝලිම්, ගෑස් පෝලිම් සහ බෙහෙත් හිගය නැති කරමින් රටට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සදහා නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මුදල් එවන ලෙසට “ඩොලර් මිලියන 500ක පංගුකාරයෙක්” වන ලෙසට ආයාචනා කළ අතර එසේ මුදල් එවීම සදහා දිරි ගැන්විම්ද කරනු ලැබුවා.

නීත්‍යානුකූලව රටට මුදල් එවන ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍ර හඳුන්වාදීම, නිවාස හා බහු කාර්ය ණය යෝජනා හදුන්වාදීම, හෝප් ගේට් නමින් ගුවන්තොටුපොලේදී විදේශ ගත ශ්‍රමිකයින් සදහා වෙන්වු විශේෂ ද්වාරයක් හදුන්වාදීම වැනි පියවර ඒ සඳහා ගනු ලැබුවා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!