අපහැඳිළි බෙහෙත් වට්ටෝරු පිළිබඳ වෛද්‍ය සභාවෙන් තීන්දුවක්.

බෙහෙත් වට්ටෝරු ලිවීම සම්බන්ධයෙන් සියලුම වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් සහ දන්ත වෛද්‍යවරුන් වෙත ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින්, දැඩි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත .

ඇතැම් වෛද්‍යවරුන් විසින් නිකුත් කරනු ලබන කියවීමට අපහසු බෙහෙත් වට්ටෝරු සම්බන්ධයෙන් මහජනතාවගෙන්, විශේෂයෙන්ම ඖෂධවේදීන්ගෙන්, පැමිණිලි ලැබී ඇති බැවින් මෙම නිවේදනය නිකුත් කරන ලද බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අවධාරණය කරයි .

අපැහැදිළි මෙන්ම කියවීමට අපහසු බෙහෙත් වට්ටෝරු නිසා රෝගීන්ට සහ ඖෂධවේදීන්ට නිවැරදි ඖෂධ හඳුනා ගැනීම අපහසු වී ඇති අතර, එය රෝගියාගේ ආරක්ෂාවට තර්ජනයක් ලෙසින් හඳුනාගෙන ඇතිබව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පෙන්වාදෙයි .

වෛද්‍ය වෘත්තිකයන් සඳහා වන ආචාර ධර්ම හැසිරීම් මාර්ගෝපදේශවල බෙහෙත් වට්ටෝරු ලිවිය යුතු ආකාරය පිළිබඳ නිශ්චිත උපදෙස් අඩංගු බවත් , නිරවුල් බව සනාථ කිරීම සහ රෝගියාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම මාර්ගෝපදේශ අත්‍යවශ්‍ය වන බවත් එම සභාව වැඩි දුරටත් සඳහන් කරයි .

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, බෙහෙත් වට්ටෝරු ලිවීම සහ නිර්දේශ කිරීම යන පරිච්ඡේදයේ දක්වා ඇති උපදෙස් තරයේ පිළිපදින ලෙසට වෛද්‍ය සභාව සිය නිවේදනය මගින් ඉල්ලා සිටි.

ඉහත සඳහන් මාර්ගෝපදේශ දැඩිව පිළිපැදීමට අපොහොසත් වීම, වෛද්‍ය වෘත්තීය අක්‍රමිකතා ලෙස සලකා වෛද්‍යවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් වෛද්‍ය සභාව පවසයි .