ගල් අඟුරු ටෙන්ඩරය පත්තු වෙයි . ප්‍රසිද්ධ විවාදයකට අභියෝග කරයි.

දූෂිත ටෙන්ඩරයක් මගින් බාල ගල්අඟුරු මෙරටට ආනයනය කර පාඩු සිදුකර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙම කරුන සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට ඕනෑම නාලිකාවක තමා සමගඑන මෙන් ඔහු අභියෝග කරයි . එම ගනුදෙනුව සම්පූර්ණයෙන්ම දූෂිත බව තමා ඔප්පු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක වැඩි දුරටත් පැවසීය.

වත්මන් රජය සිය පාලන කාලයේ මුල් සතියේ සිටම දූෂණ සහ වංචාවල නිරත වන බව පෙන්වාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, මෙම දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය පිටුපස බලශක්ති අමාත්‍යවරයා සිටිනා බව පැවසීය.

සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ කැඳවිය යුතු ගල්අඟුරු ටෙන්ඩරය, සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට රජය කටයුතු කර ඇති බවත්, ලංකාවට ගෙනා පළමු ගල්අඟුරු නැව් දෙකේ Calorific value 5600-5800 අතර පවතින බව ලක්විජය බලාගාරයේ පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවත් පැවසූ ඔහු ගල්අඟුරු ටෙන්ඩර් මාර්ගෝපදේශ අනුව මෙය අවම වශයෙන් 5900 විය යුතු බවත් පැවසීය.

මෙලෙස සම්මත ප්‍රමිතියෙන් තොට ගල් අඟුරු ගෙන්වීම නිසා වසරකට අමතර ගල් අඟුරු නෞකා හයකට ආසන්න ප්‍රමාණයක් ගෙන ඒමට සිදුවනු ඇති බවත්, ඒ සඳහා රුපියල් කෝටි දහසක් වැයවෙන බවත් ඔහු පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය .