නත්තල් සාදය විසිකැති පහරින් නිමවේ – අටක් රෝහලේ

නත්තල් සැමරුම වෙනුවෙන් පැවැති සාදයකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනකු ඇතුළු අට දෙනකු වෑතර දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ කමතවත්ත පාර ප්‍රදේශයේ පදිංචි (18 -36) වයසේ පසුවන අට දෙනකු බව පොලිසිය කියයි.

හෙරලියාවල කමතවත්ත පාර ප්‍රදේශයේ නිවසක නත්තල වෙනුවෙන් සාදයක් පවත්වා ඇති අතර ඒ සඳහා පැමිණි පිරිස සාදය පවත්වමින් සිටියදී ඊට යාබද නිවසක පිරිසක් සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් යකඩ පොලු , මුගුරු අතැතිව සාදය පැවති නිවසට පැමිණ පහර දීමක් සිදු කර තිබේ.

එම අවස්ථාවේදී දෙපිරිස අතර ගැටුමක් හටගෙන ඇති අතර විසි කැත්තකින් පහර කා ඉන් තුවාල ලැබූ දෙපාර්ශවයේම 8 දෙනකු ප්‍රතිකාර සඳහා වෑතර දිසා රෝහලට ඇතුළත් කර ඇති බවත් ඉන් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් පැවසේ.