ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින්ට සිදුවුණු දේ

යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශය තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු සමග ඉන්දීය ධීවර යාත්‍රාවක් ඊයේ (04) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව පවසන්නේ විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදුකරන බවයි.

මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.

තවද, මෙම මෙහෙයුමත් සමග 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා හතලිස් හතක් සහ ඉන්දීය ධීවරයින් තුන්සිය හතලිස් පස් දෙනෙකු නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!