වික්ටෝරියා ජලාශයට පැන සිසුවියක් අවසන් ගමන් යයි

වික්ටෝරියා ජලාශයට පැන පාසල් සිසුවියක් සිය දිවි හානිකරගෙන තිබෙනවා.

අදාළ සිසුවිය තවත් මිතුරියක් සමග ඊයේ (23) දහවල් එම ජලාශයට පැන ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

දියේ ගිලුණු සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙකු දිවි බේරාගෙන ඇති අතර අතුරුදන් වූ අනෙක් සිසුවියගේ මළසිරුර ඊයේ පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

මියගොස් ඇත්තේ 17 හැවිරිදි තෙල්දෙණිය, පූඩලුඋයන ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියක් බව වාර්තා වනවා.

මියගිය සිසුවිය, සිය මිතුරියගේ අතින් අල්ලාගෙන ජලාශයට පැන ඇති බව පොලීසිය සඳහන් කළා.

දිවි බේරාගත් සිසුවිය මේ වනවිට දැඩි කම්පන තත්ත්වයෙන් තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වෙනවා.

මියගිය සිසුවියගේ ප්‍රේම සම්බන්ධයකට නිවැසියන් අකමැත්ත පළකිරීම හේතුවෙන් සියදිවි හානිකර ගැනීම සිදුකර ඇති බවට ඇය විසින් ලියා තිබූ ලිපියකින් අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.