ට්‍රම්ප්ගේ තීරුබද්ද අපට බලපාන්නේ කෙසේ ද?

අප්‍රේල් 3 වන බ්‍රහස්පතින්දා, ශ්‍රී ලාංකිකයන් අවදි වූයේ, ශ්‍රී ලංකාවේ තනි විශාලතම අපනයන ගමනාන්තය වූ එක්සත් ජනපදය, 44%ක තීරුබදු පනවනු ඇති බවට ප්‍රකාශ වූ අසතුටුදායක ප්‍රවෘත්තියට ය. ට්‍රම්ප්ගේ තීරුබදු ශ්‍රි ලංකාවේ ණය අර්බුදය තවදුරටත් උග්‍ර කිරීමට හේතුවනවාට නොඅනුමානය. 

මෙම තීරුබදු ශ්‍රී ලංකාවට බලපානු ලබන්නේ, 2024 දෙසැම්බර් මාසයේදී නිල වශයෙන් ස්වෛරී පැහැර හැරීමේ තත්ත්වයෙන් ඉවත් වූ මාස කිහිපයකට පසුවය. මෙයට ප්‍රතිචාර දැක්වීම සඳහා විවිධ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ පෞද්ගලික අංශයේ ප්‍රමුඛ නියෝජිතයින් ඇතුළත් විශේෂඥ උපදේශක කමිටුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පත් කළේ ය.

2023 දී ඩොලර් බිලියන 55 ක් හෝ එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 65% ක් වූ එහි සැලකිය යුතු විදේශ ණය ගෙවීම සඳහා විදේශ මුදල් රැස් කිරීමට රටට ඇති හැකියාව කෙරෙහි මෙම තීරුබදු මගින් ඇති කරන බලපෑම ඔවුන්ගේ ප්‍රධාන සැලකිල්ලට භාජනය විය යුතුව තිබේ.

එක්සත් ජනපද වෙළඳපොළ ශ්‍රී ලංකාවේ අපනයන වලින් 23% ක් සහ එහි ප්‍රධාන අපනයන අයිතමය වන ඇඟලුම් සහ රෙදිපිළි වලින් 38% ක් නියෝජනය කරයි. රටේ සමස්ත ඇඟලුම් සහ රෙදිපිළි කර්මාන්තය තුළ සෘජුව රැකියාවන්හි නියුතු පුද්ගලයින් 350,000ක් පමණ සිටින අතර, මෙම ප්‍රධාන ආර්ථික අංශය එක්සත් ජනපද සහ යුරෝපීය වෙළඳපොළවල් වෙත ප්‍රවේශ වීමේ හැකියාව මත රදා පවතී.

මෙයට බහුවිධ කෙදිපිළි ගිවිසුම (Multi-Fiber Agreement) (1974–1994) යටතේ ලබා දුන් කෝටා ක්‍රමය හරහා පහසුකම් සපයන ලදී. මෙම වෙළඳ ක්‍රමය යටතේ වර්ධනය වූ අපනයනකරුවන්ට, එක්සත් ජනපදයෙන් ඔබ්බට වෙළඳපොළවල් සිතා ගැනීමට ව්‍යුහාත්මක නොහැකියාවක් ඇති බව සැලකිය යුතු ය.

ඇඟලුම් හා රෙදිපිළි අපනයනකරුවන් සඳහා ප්‍රධාන නියෝජිත ආයතනය වන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම්වරයා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන්නේ: “එක්සත් ජනපදය වෙනුවට අපට ඉලක්ක කළ හැකි වෙනත් විකල්ප වෙළඳපොළක් නැත” යනුවෙනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෝෂ සහිත ණය තිරසාරභාවය පිළිබඳ විශ්ලේෂණය

ට්‍රම්ප්ගේ තීරුබදු පැනවෙන්නේ ශ්‍රී ලංකාව නිදහසින් පසු එහි දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට තවමත් පොරබදන කරන සන්දර්භයක ය. 2022 දී, ශ්‍රී ලංකාවේ ආර්ථිකය සාධක සංයෝගයක පීඩනය යටතේ කඩා වැටුණි. පළමුව, රටේ සංචාරක හා විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මත යැපෙන ආර්ථිකය වසංගතයේ බලපෑම හේතුවෙන් විදේශ මුදල් බිලියන ගණනක් අහිමි කර ගත්තේය.

දෙවනුව, සැපයුම් දාම අවහිරතා සහ යුක්රේන-රුසියානු ගැටුම හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ යාම විදේශ විනිමය සංචිත මත අමතර බරක් පටවන ලදී. 

මෙම තත්ත්වය අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟය, සමහර ප්‍රදේශවලට කලින් සැලසුම් කරන ලද තාවකාලික විදුලිය බිඳ වැටීම් ඇති වීමට සහ ඉන්ධන හා පිසින ගෑස් සඳහා දිගු පෝලිම් ඇති වීමට හේතු විය.

2022 අප්‍රේල් මාසයේදී, ශ්‍රී ලංකාව බාහිර ණය පැහැර හැරීම ප්‍රකාශයට පත්කළ අතර, මෙම තීරණාත්මක පියවර ගැනීමෙන් 1999 වසරින් පසුව පළමුවරට ආසියා-පැසිෆික් කලාපයේ විදේශ ණය පැහැර හැරිය ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත් විය.

එතැන් සිට ගත වූ වසර දෙකක කාලය තුළ, ශ්‍රී ලංකාව, 17 වන වරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන යටතේ දැඩි වේදනාකාරී පටිතදකර ගැනීමේ ක්‍රියාවලියකට මෙන්ම, රටේ විදේශ මුදල් උත්පාදනය කිරීමේ හැකියාවට ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියකට ද භාජනය වී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරභාවය පිළිබද විශ්ලේෂණය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස ණය කෙරෙහි වන අතර, එය රටේ ණය ලබා දෙන්නන් සමඟ ඇති කරගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමේ පදනම වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්ලේෂණය දේශීය හා විදේශීය ණය අතර සැලකිය යුතු වෙනසක් නොකරන බැවින්, එහි නියෝග අවධානය යොමු කරන්නේ ව්‍යුහාත්මක වෙළඳ හිඟය නොසලකා හරිමින් අයවැය හිඟය අඩු කිරීම සඳහා බදු වැඩි කිරීම කෙරෙහිය.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද ඩොලර් උපයා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමට සහ රටේ ණයවලින් අති විශාල කොටස හිමි බැඳුම්කර හිමියන්ට ණය ගෙවීමට කිසිදු සැලැස්මක් නොමැත.

ශ්‍රී ලංකාව වැනි රටවල් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිකාරය, සීත යුධ සමයේ මුල් වසරවල එක්සත් ජනපදය බටහිර ජර්මනිය වැනි මිතුරන්ට කළ සැලකිල්ලට සම්පූර්ණයෙන්ම වෙනස්ය. 1953 ලන්ඩන් ණය ගිවිසුම හරහා, බටහිර ජර්මනියේ සියලුම බාහිර ණය කපා හරින ලදී. ඒ අතරම, රට වෙළඳ අතිරික්තයක් පවත්වා ගෙන ගියහොත් පමණක් අනාගත ණය ගෙවීම් අපේක්ෂා කෙරෙනු ඇති අතර, මෙම ගෙවීම් අපනයන ආදායමින් 3% කට සීමා කර තිබුණි.

මේ තත්ත්වය හා සැසඳීමේදී, ශ්‍රී ලංකාව බාහිර ණය පැහැරහැරීමට පෙරාතුව පැවති දශකය (2012-2021) තුළ, රටේ අපනයන ආදායමෙන් සාමාන්‍යයෙන් 41%ක සැලකිය යුතු ප්‍රතිශතයක් විදේශීය ණය ගෙවීම් සඳහා වැය කිරීමට සිදු වී තිබුණි. එම කාලය තුළම, ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8.5 ක වාර්ෂික වෙළඳ හිඟයක් ද පවත්වාගෙන ගියේය.

නිෂ්පාදිත අපනයන සඳහා සැලකිය යුතු ආයෝජනයක් (සහ වෙළඳපොළට ප්‍රවේශය) නොමැතිව ගත් කළ, රටේ පවතින ණය බර කාල බෝම්බයක් ලෙස පවතී.

ගෝලීයකරණය සහ එහි අතෘප්තිය                                                                                                                                                                                             

                                                                                                                                                                     ට්‍රම්ප් පරිපාලනය විසින් ‘අන්‍යෝන්‍ය තීරුබදු’ යන යෙදුම භාවිතා කිරීම නොමඟ යවන සුලුය. අන්‍යෝන්‍යතාවය, සමානාත්මතාවය හඟවන නමුත්, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳාම් කරන භාණ්ඩ වර්ග හරිහැටි සමාන කළ නොහැක. ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට ඇඟලුම් වැනි ශ්‍රම-සූක්ෂම නිෂ්පාදන අපනයනය කරන අතර, යන්ත්‍රෝපකරණ සහ ඖෂධ වැනි ප්‍රාග්ධන-සූක්ෂම නිෂ්පාදන ආනයනය කරයි.

ඒ අතරම, එක්සත් ජනපදය මෙන් නොව, ශ්‍රී ලංකාවට ලෝක සංචිත මුදල් මුද්‍රණය කිරීමේ අධි වරප්‍රසාදය නොමැත.

ශ්‍රී ලංකාවේ වත්මන් වෙළඳ රටාව, ඇඟලුම් හා රෙදිපිළි අපනයනයන්හි කාර්මික ඒක සංස්කෘතික ඇගලුම් ඇතුළුව, එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන ගෝලීයකරණයේම නිෂ්පාදනයකි.

මාර්තු 18 වන දින, වොෂිංටනයේ “ඇමරිකන් ගත්කත්වය” සමුළුවේදී (American Dynamism summit) පැවැත්වූ කථාවක දී, එක්සත් ජනපද උප ජනාධිපති ජේඩී වෑන්ස් දැන් අතීතයට එක් වී ඇති ගෝලීයකරණ යුගය පිටුපස ඇති තර්කනය පිළිබඳව අතිශයින් අවංක අදහසක් ඉදිරිපත් කළේය. “ගෝලීයකරණයේ අදහස,” පිළිබඳව ඔහු පැවසුවේ, “පොහොසත් රටවල් වටිනාකම් දාමයේ තවදුරටත් ඉහළට යන අතර, දුප්පත් රටවල් වඩාත් සරල දේවල් නිෂ්පාදනය කරනු ඇත.” යන්නයි.

වෙනත් වචනවලින් කියනවා නම්, එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන ගෝලීයකරණය එක්සත් ජනපදය ලෝකයේ එකම නිෂ්පාදන අධිබලවතා වූ අවස්ථාවක ජාත්‍යන්තර ශ්‍රම විභජනය පවත්වා ගැනීමේ මාර්ගයක් විය.

කෙසේ වෙතත්, වෑන්ස් විසින් පෙන්වා දුන් ආකාරයට ප්‍රධාන ගැටලුව වන්නේ ‘නිෂ්පාදන කටයුතු සිදු කරන භූගෝලීය ප්‍රදේශ කාලයාගේ ඇවෑමෙන් නව නිෂ්පාදන සැලසුම් කිරීම සහ නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඉතා සැලකිය යුතු දක්ෂතාවයක් ලබා ගැනීමයි’.

වෙනත් වචනවලින් කියනවා නම්, එක්සත් ජනපද දෘෂ්ටිකෝණයෙන් බලනවිට, එක්සත් ජනපද උපාය මාර්ගය ශ්‍රී ලංකාව වැනි රටවල් සම්බන්ධයෙන් සාර්ථක වී තිබිය හැකි වුවද, එය අනෙකුත් රටවලට එය සාර්ථක වී නොමැති බවයි.

ලෝක ජනගහනයෙන් 17% ක් නියෝජනය කරන චීනය, ගෝලීයකරණය හරහා සැරිසැරීමට ක්‍රම සොයා ගත්තේය. යටිතල පහසුකම් සහ කාර්මික හැකියාවන් වෙත ස්ථාවර ආයෝජන ඉහළ අනුපාතයක් දිරිගැන්වීම, බිලියන ගණනක ජනතාව දුගී බවින් ඉහළට ඔසවා තැබීම සහ ඉහළ තාක්ෂණික අංශවල සේවය කිරීම සඳහා කුසලතා හා දැනුමින් සන්නද්ධ කිරීම මගින් මෙය සිදු කළේය. එක්සත් ජනපදයට මෙය පිළිගත නොහැකිය.

එක්සත් ජනපදය ආරක්ෂණවාදය වෙත යොමුවීම හුදෙක් පෙර පැවති වෙළඳ ප්‍රතිපත්ති සමඟ උපායමාර්ගික වෙනසක් නොව, උපක්‍රමික මාරුවක් පමණි. මෙහි පවතින පුළුල් අරමුණ එකම දෙයක් ව පවතී – එනම් ගෝලීය දකුණේ රටවල නිෂ්පාදන බලවේග සංවර්ධනය වීම අවහිර කිරීම හරහා ජාත්‍යන්තර ශ්‍රම විභජනයේ වර්තමාන රටාව අඛණ්ඩව පවත්වාගෙන යාමයි.

                                                                                                                                                                               මෙම තීරුබදු සැබවින්ම අපේක්ෂිත බලපෑම ඇති කරනු ඇත්ද යන්න සම්පූර්ණයෙන්ම වෙනත් කරුණකි. පැහැදිලිව පෙනෙන කරුණ නම්, ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජනපද ඒකාධිකාරයන්ගේ ආර්ථික අවශ්‍යතා සුරැකීම සඳහා අවසාන උත්සාහයක් දරන අතරතුර, ශ්‍රී ලංකාව වැනි දැනටමත් ණය හේතුවෙන් පිඩා විදින සංවර්ධනය වෙමින් පවතින රටවල් වඩාත් අසරණ තත්ත්වයකට ඇද වැටෙනු ඇත. 

People’s Dispatch (පීපලස් ඩිස්පැච්) වෙබ් අඩවිය ඇසුරෙන්.

සිංහල අනුවාදය මිගාර රත්නායක