ඉහළ මහලට ගිය තරුණයන් දෙදෙනාට විදුලි සැර වදියි

පෞද්ගලික ආයතනයක ඉහළ මහලේ විදුලි සැර වැදී සිටි තරුණයන් දෙදෙනෙකු අද (26) දහවල් රෝහල්ගත කර තිබෙනවා.

මෙම අනතුර සිදුවී ඇත්තේ මුලතිව්, පුදුකුඩිඉරිප්පු නගරයේ පෞද්ගලික ආයතනකදීයි.

එම ආයතනයේ ඉහළ මහලේ තිබූ ජල ටැංකියක් පිරිසිදු කිරීමට ගිය තරුණයින් දෙදෙනාටයි මෙලෙස විදුලි සැර වැදී ඇත්තේ.

විදුලිසැර වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසුවු තරුණයින් දෙදෙනා පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.

එලෙස රෝහල්ගත කර ඇත්තේ මුලතිව්, පුදුකුඩිඉරිප්පු, ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයින් දෙදෙනෙකුයි.

පළමුව තරුණයෙකු පෞද්ගලික ආයතනයේ ඉහළ මහලේ පැවති වතුර ටැංකිය පිරිසිදු කිරීමට ගොස් ඇති අතර, අදාළ තරුණයා පහළට නොපැමිණීම සම්බන්ධයෙන් විමසා බැලීමට තවත් තරුණයෙකු එම ස්ථානයට ගොස් තිබෙනවා.

අදාළ ආයතනයේ ඉහළ මහල ආසන්නයේ අධිබලැති විදුලි රැහැන් කිහිපයක් පවතින බැවින් එම අධිබලැති විදුලි රැහැනක එම තරුණයන් ගැටීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

එසේත් නොමැති නම් වෙනත් විදුලි කාන්දුවකින් අනතුර සිදුවී ඇති බවට සැක කෙරෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!