හෙළිවන තොරතුරු අනුව ක්ලබ් වසන්ත ඝාතනය වෙනත් දිසාවකට හැරෙන ලකුණු

ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ මෙහෙයුම ඩුබායීහී සැඟව සිටින ලොකු පැටී හා ගොනා කෝවිලේ ශාන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනා සෘජුවම එක්වී සැලසුම් කර ඇති බව පොලීසිය මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා.

කෙසේවෙතත් මෙම ඝාතනයට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

ව්‍යාපාරිකයකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඊයේ (08) උදෑසන අතුරුගිරියේ ප්‍රදේශයේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණා.

එම අවස්ථාවේ එහි සිටි ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවාගේ සහකරු වන නයන වාසුල නැමැත්තාද මියගිය අතර කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිඳ, ඇතුළු තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

වෙඩික්කරුවන් අදාළ ඝාතනය සිදුකරන අයුරු CCTV කැමරාවල සටහන්ව තිබුණා.

ඒ අනුව, බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් 6ක් විමර්ශන ආරම්භ කළා.

එහි ප්‍රතිඵයක් ලෙස වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය ඝාතනය සිදුවී සුළු වේලාවක් තුළ සොයාගත්තේ, කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ මාර්ගයක හැර දමාගොස් තිබියදීයි.

මෝටර් රථයේ පැමිණි පිරිස වෙනත් වෑන් රථයකින් කොරතොට සිට පළාගොස් තිබූ අතර එම වෑන් රථයද ඊයේ රාත්‍රියේදීම සොයාගැනීම ට පොලීසිය සමත් වුණා.

ඒ බුලත්සිංහල, දෙල්මැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක හැර දමාගොස් තිබියදීයි.

එහි අංක තහඩු ද අපරාධකරුවන් ගලාවාගෙන ගොස් ඇති අතර පොලිස් නිල සුනඛයෙකු යොදාගනිමින් එහි විමර්ශන දියත් කර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ, වෑන් රථයේ සිටි පිරිස රත්නපුර අයගම ප්‍රදේශය දෙසට පළාගොස් ඇති බවයි.

එමෙන්ම වෑන් රථයේ තිබී අත්ල සටහන් 6ක් සහ ඇඟිලි සලකුණු 2ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

වෑන් රථයේ ඉදිරි වම්පැත්තේ රෝදය අසල බඳෙහි තිබී බෙලිඅත්ත ප්‍රදේශයේ නම සඳහන් මුද්‍රා සටහනක් පොලීසිය සොයාගෙන ඇති අතර ඒ අනුව සැකකරන්නේ මෙම වෑන් රථය එම ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් වූවක් බවයි.

එය බෙලිඅත්ත දෙස සිට පැමිණ ඇති බවට සැකකරන බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අදාළ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

විමර්ශනවලදී මේවන විට අනාවරණ වී ඇත්තේ, සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරිමේ මෙහෙයුම ඩුබායීහී සැඟව සිටින ලොකු පැටී හා ගොනා කෝවිලේ ශාන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනා සෘජුවම එක්වී සැලසුම් කර ඇති බවයි.

කංජිපානි ඉම්රාන් නැමති අපරාධකරුගේ සෘජු සබඳතාවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඔහු පිළිබඳව සැක පළකරන්නේ වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් පතොරම් කොපුවල සටහන් කර තිබූ KPI යන කෙටි යෙදුම හේතුවෙනි.

මේ අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබන ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සෞඛ්‍ය තත්ත්වය මේවන විට යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඇයට පැය 4ක පමණ ශල්‍යකර්මයක් සිදුකර ඇති අතර ඒ සඳහා වෛද්‍ය කණ්ඩායම් 5ක් එක්වූ බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් ඇයගේ වම් පාදයට දරුණු තුවාල සිදුව තිබුණා.

මේ අතර ක්ලබ් වසන්තගේ බිරිඳ හෝමාගම රෝහලේ සිට කළුබෝවිල රෝහලට මාරුකර යවා තිබෙනවා.

ඇයගේ තත්ත්වය බරපතළ බැවින් මේවන විටත් ඇය එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන අනෙක් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවත් වාර්තා වෙනවා.

මේ අතර ක්ලබ් වසන්තගේ හා අනෙක් පුද්ගලයාගේ සිරුරු තවමත් හෝමාගම රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!