සිසුන්ගේ හෙල්මට් පහරින් මියගිය පියාගේ සොහොන හාරලා – සිරුරේ කොටස් අතුරුදන්

2023 වසරේ පෙබරවාරි මස 14 වන දින ගල්මත්ත ප්‍රදේශයේදී පාසල් සිසුන් තිදෙනෙක් සමග ඇතිවූ ආරවුලකදී හෙල්මට් ප්‍රහාරයකට ලක්ව දොන් රංග විරාජ් ජයසිංහ නමැති 35 හැවිරිදි එක්දරු පියකු මියගියා.

එලෙස මියගිය පුද්ගලයාගේ මෘතදේහය තැන්පත් කර තිබු සොහොන හාරා තම ස්වාමිපුරුෂයාගේ හිස ඇතුළු කොටස් රැගෙන ගොස් ඇති බව ඔහුගේ බිරිඳ වැලිපැන්න පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔහුගේ දේහය අධිකරණ නියෝගයකට අනුව වැලිපැන්න පොලිස් වසමේ ගල්මත්ත ,කුරුදිප්පිට සුසාන භුමියේ කොන්ක්‍රීට් දමන ලද වලක භූමදානය කළා.

ඔහුගේ බිරිඳ සහ ඥාතීන් ඔහු වෙනුවෙන් ගුණානුස්මරණ පිංකම් පැවැත්වෙන දිනවලදී සහ වෙනත් විශේෂ දිනවලදී එම සොහොන පවිත්‍ර කර පහන් දැල්වීම සිදුකර ඇති බව වාර්තා වනවා.

මෙවරත් වෙසක් පොහොය වෙනුවෙන් ඔහුගේ සොහොන පවිත්‍ර කිරීමට පවුලේ ඥාති සොහොයුරන් දෙදෙනකු පැමිණි විට අවස්ථාවේ එම මිනීවල හාරා තිබෙන බව දැක ඔවුන් මියගිය අයගේ බිරිඳට දැනුම් දී තිබෙනවා.

අනතුරුව මියගිය පුද්ගලයාගේ බිරිඳ එම ස්ථානයට පැමිණ පරීක්ෂා කර බලා වැලිපැන්න පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!