සිල්ක් රූට් පර්යන්තයෙන් ආපු ක්‍රිකට් කණ්ඩායමට ආරක්ෂාවත් තදටම

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන දිවයිනට පැමිණ ඇත්තේ ගුවන් තොටුපොළ ‘සිල්ක් රූට්’ පර්යන්තයෙන් බව වාර්තා වනවා.

මෙම සිදුවීම කැපීපෙනීමට හේතුව වී ඇත්තේ මින් පෙර අවස්ථාවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට සාමාන්‍ය මගී පර්යන්තයෙන් පැමිණියත් මෙවර ඔවුන් එසේ නොපැමිණීමයි.

සිල්ක් රූට් පර්යන්තයෙන් පැමිණීමට නම් මුදල් ගෙවා අදාළ පහසුකම් සලසා ගත යුතුව තිබෙනවා.

ආරංචි මාර්ග පවසන්නේ සිල්ක් රූට් පර්යන්තයෙන් පැමිණීමට එක් අයෙකු සඳහා අමෙරිකානු ඩොලර් 50ක මුදලක් ගෙවා ඇති බවයි.

එසේම ඔවුන් එම පර්යන්තයෙන් පැමිණි අවස්ථාවේ දැඩි ආරක්ෂාවක් ලබාදී ඇති බවත් වාර්තා වනවා.

එහිදී මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා T20 ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග පැවසුවේ ක්‍රීඩකයින් නිසි අයුරින් ක්‍රීඩා නොකළ නිසා මෙම විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවයි.

එසේම තමන් කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩකයෙකු වශයෙන් ඒ පිළිබඳව කනගාටු වන බවත් ඔහු පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ T20 ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග පැවසුවේ,

“ක්‍රීඩකයින් විදියට අපි දන්නවා අපි අතින් සිදුවූ වැරදි මොනවාද කියලා. අපි ක්‍රීඩකයෝ වශයෙන් හොඳින් ක්‍රීඩා නොකළ නිසා පිතිකරණය, පන්දු රැකීම සහ පන්දු යැවීම කණ්ඩායමක් වශයෙන් හොඳින් කළේ නෑ..” යනුවෙනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!