අකුරණ ගින්න ඇතිවූ ආකාරය තවමත් අභිරහසක්

අකුරණ අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මහනුවර – මාතලේ මාර්ගය (A9) මේ වන විට යළි විවෘත කර ඇති බව පොලීසිය පවසනවා.

එම ගින්න හේතුවෙන් මහනුවර – මාතලේ මාර්ගය අද (05) පෙරවරුවේ තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබුණා.

ගින්න තවත් වෙළඳසැල් කිහිපයකට පැතිරයාම හේතුවෙනුයි පොලීසිය මෙ‌ලෙස මාර්ගය තාවකාලිකව වසාදැමීමට කටයුතු කර තිබුණේ.

අකුරණ නගරයේ පිහිටි මෙම අවන්හල තුළ ගින්න හටගෙන තිබුණේ අද උදෑසන 6.30ට පමණයි.

ඒ සමගම අවන්හලේ සේවය කරමින් සිටි සේවකයින් පිටතට පැමිණි අතර ගින්න වේගයෙන් එම ගොඩනැගිල්ල පුරා ව්‍යාප්ත වී තිබෙනවා.

අවන්හල තුළ තිබූ ගෑස් සිලින්ඩර් 50ක් පමණ එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් කඩිනමින් මැදිහත්වී ඉන් පිටතට ගෙන ඇත්තේ ඒවා පිපිරීමෙන් සිදුවිය හැකි මහා විනාශය වළක්වාගැනීම සඳහායි.

ගින්න මැඩපැවැත්වීම සඳහා මහනුවර මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ කැඳවා තිබුණා.

දැඩි පරිශ්‍රමයකින් පසු උදෑසන 10ට පමණ ගින්න මැඩපැවැත්වීමට ඔවුන්ට හැකිව තිබෙනවා.

කෙසේ වෙතත් ගිනිගත් අවන්හල අසල පිහිටි තීන්ත අලෙවිසැලක් ඇතුළු වෙළෙඳසැල් කිහිපයකට සහ ජාත්‍යන්තර පාසලකට ගින්නෙන් හානි සිදු වී තිබෙනවා.

ගින්නෙන් පුද්ගල හානි වාර්තා වී නොමැති අතර ගින්නට හේතුව ද මෙතෙක් අනාවරණ වී නැති බව බව සඳහන් වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!