2023 ජාතික වෙසක් උත්සවයට සැලසුම් රැසක්

බෞද්ධ ජනතාවගේ ප්‍රධාන ආගමික උත්සවයක් ලෙස වෙසක් උත්සවය හැඳින්විය හැක. මෙවර 2023 ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි මස 02 වැනිදා සිට 08 වෙනිදා දක්වා ජාතික වෙසක් සතිය නම් කර ඇති බව වාර්තා වේ.

එයට සමගාමීව ශාසනික සහ ආගමික කටයුතු රැසක් දිවයින පුරා සුදානම් කර ඇති බව, හලාවත කබැල්ලෑවල පිහිටි ශ්‍රී රත්නසිරි පිරිවෙන් විහාරයේ පැවති සාකච්ඡාවකදී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම පවසයි.

එමෙන්ම “වෙසක් උත්සවයට සමගාමීව දිස්ත්‍රික්ක තුනක විහාරස්ථාන 06 ක් සදහා පූජා භූමි සන්නස් පත්‍ර ප්‍රධානය කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බවත්, ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ කිරිමැටියාන ශ්‍රී සුධම්මවංශාරාම මහා විහාරය, පිලාකටුමුල්ල ශ්‍රී පුෂ්පාරාම පුරණ විහාරස්ථානය,ගම්පහ දිස්ත්‍රික්කයේ කෑරගල සිරිපැරකුම්බා මහා විහාරය,හේනේගම සුදර්මාරාමය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඓතිහාසික තිස්සව රජමහා විහාරය සහ කොස්දෙණිය විහාරස්ථාන සදහා පූජා භූමි සන්නස් පත්‍ර ප්‍රධානය කිරීමට නියමිතව ඇති බවත්,” වැඩිදුරටත් අදහස් දැක්වූ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

තවද,පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව විජය ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය, මාදම්පේ ශ්‍රී සමාධී විහාරස්ථානය, මහකුඹුක්කඩවල ශ්‍රී සුමනකුසුමාරාමය,මුන්දලම වේලාසිය දකුණ පුරාණ විහාරය හා ශ්‍රි වර්ධනාරාමය සහ පල්ලම සද්ධාරංසි චිත්ත විවේකාරාමය යන විහාරස්ථාන සදහා නිරවුල් දීමනා පත්‍ර ප්‍රධානය කිරීමද සිදු කිරීමට නියමිතව ඇත.

පුත්තලම දිස්ත්‍රික්කයේ පවත්වා ගෙන යන පිරිවෙන් 14 ක් සදහා සිංහලට පරිවර්ථනය කරන ලද ත්‍රිපිටක ග්‍රන්ථය ප්‍රධානය කිරීමටද නියමිතව ඇති බව ද වාර්තා වේ.

එමෙන්ද රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ සියළුම පාසල්,රාජ්‍ය ආයතන වල විශේෂ ආගමික වැඩසටහන්ද පැවැත්වීමට නියමිතය.

රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන කබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථාන භූමිය තුළ ප්‍රදර්ශණ කුටි කීපයක්ද මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිතය.පෞරාණික භාණ්ඩ,පැරණි ලිපි ලේඛණ,කලා ශිල්ප නැරඹීමට මෙන්ම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති පොත් පත්ද මෙහිදී මිලදී ගැනීමට හැකියාව ඇකි බව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *