විපක්ෂයේ මන්ත්‍රීවරු හෙට මැතිවරණ කොමිසමට

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හෙට (07) දිනයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට තීරණය කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 09 දෙනෙකුගේ අත්සනින් යුක්තව ලිපියක් මගින් අදාළ හමුවීම පිළිබඳව දැනුම් දී ඇති බව වාර්තා වේ.

මාර්තු මස 3 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසත් මාර්තු මස 20 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසත් මන්ත්‍රීවරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.

ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හෙට පෙරවරු 9ට මැතිවරණ මහා ලේකම් කාර්යාලය වෙත පැමිණෙන බවද අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

මේ අතර පළාත්පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා හෙට දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බව ද වාර්තා වේ.

මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම පිළිබඳව මෙහිදි අදාළ නිළධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් ද හෙට දිනයේ රැස්වී සාකච්ඡා කිරීමට නියමිතය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *