නව තාක්ෂණය සමඟ ඉදිරියට යාමට විශ්වවිද්‍යාල පද්ධතිය සූදානම් කරනවා. ජනපති කියයි.

කෘතිම බුද්ධිය වැනි තාක්ෂණික දියුණුව සමඟ දැනුමේ විප්ලවයක් කරා මුළු ලෝකයම ගමන් කරමින් සිටින මේ මොහොතේ ඒ සමඟ ඉදිරියට යාමට කොළඹ විශ්වවිද්‍යාලය විසින් වසර 10ක සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නම් ඊට සහාය ලබා දීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගියදා කොළඹ ගලධාරි හෝටලයේ පැවැති කොළඹ විශ්වවිද්‍යාලයේ 2023 ආදි විද්‍යාර්ථයින්ගේ හමුව අමතමිනි.

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම නව්‍යකරණයක් අවශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට ලබාදිය හැකි කඩිනමි විසඳුම් සොයා බලන ලෙස ද කොළඹ විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේය.

වසර 10 ක මෙම සංවර්ධන සැලැස්ම කඩිනමින් සැකසීමට කැප වන්නැයි ආදි විද්‍යාර්ථයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ නොවුණහොත් එම සුවිශේෂි ක්‍රියාදාමයට දායකවීමේ අවස්ථාව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගිලිහී යන බව ද කියා සිටියේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයට වසර 40ක් සම්පූර්ණ වීමට සමගාමීව පිනකල් සම්මාන උළෙලක් ද මෙහිදී සංවිධානය කර තිබූ අතර රටට, සමාජයට සහ කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන ආදි විද්‍යාර්ථයින් ඇඟයීම සඳහා පිරිනැමෙන එම පළමු සම්මානයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිදුම් ලැබීය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *