ඝෝඨාට බෝම්බ ගැසුවායයි වසර 14 ක් බන්ධනාගාර ගතකර සිටි සිවලිංගම් අරූරන් නිදොස් කොට නිදහස් කරයි.

2006 වසරේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධූරය හෙබවූ සමයේදී ඔහුට පිත්තල හන්දියේදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිවලිංගම් ආරූරන් වසර 14 කට පසු සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

2009 වසරේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු රැඳවුම් භාරයට ගෙන නව මැගසින් බන්ධනාගාරයේ වසර 14 කට අධික කාලයක් රඳවාගෙන සිටියේය.

ආරක්ෂක ලේකම් වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි චෝදනා 13ක් යටතේ නීතිපතිවරයා 2013 වසරේදී මෙම නඩුව පවරා තිබූ අතර විත්තිකරුට එරෙහිව අධිචෝදනා හයක් ඉදිරිපත්ව තිබිණි. විත්තිකරු හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිල් ද සිල්වා ඉදිරියේ කරන ලද ප්‍රකාශයක් නඩුවේ සාක්ෂියක් ලෙස පිළිගන්නා ලෙසට නීතිපතිවරයා කරන ලද ඉල්ලීමක් පසුගිය නඩුවාරයේදී මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ප්‍රතික්ෂේප කිරීමත් සමග නඩුව පවත්වාගෙන යාම අසීරු විය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහකාර පොලිස් අධිකාරී වරයාට ලබාදුන් පාපොච්චාරණය ස්වෙච්ඡාවෙන් සිදුකරන ලද්දක් නොවන බවට අධිකරණය විසින් තීන්දු කළ බවය.

ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වූ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුට එරෙහිව වෙනත් සාක්ෂි නොමැති බවය. තවදුරටත් විත්තිකරුට එරෙහි නඩුව පවරා පවත්වාගෙන යෑමට නීතිපතිවරයා අදහස් නොකරන බවත් පවසා සිටියේය.

කරුණු සලකා බැලූ වූ මහාධිකරණ විනිසුරුවරයා පුද්ගලයින්ගේ තරාතිරම නොබලා තමන්ගේ අධිකරණ තීන්දු ලබා දෙන බවත් සාක්ෂි නොමැති හෙයින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් සඳහන් කළේය.

43 හැවිරිදි වියේ පසුවන ආරූරන් 2004 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධි ධාරියෙකි. ඔහු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටියේය . එලෙස අත් අඩංගුවට ගත් ඔහු ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ වසර 14 කට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටියේය

බන්ධනාගාරගත වීමෙන් පසුව ලේඛකයෙක් ලෙස සිය කුසලතාව දියුණු කරගත් ආරූරන් දෙමළ භාෂාවෙන් කෘති 07 ක්ද සහ ඉංග්‍රීසි භාෂා කෘතියක් රචනා කර ඇත.

මේ අතර 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම ස්වතන්ත්‍ර (දෙමළ) නවකතාව ලෙස නව සිවලිංගම් අරූරන් ඔහු විසින් රචිත ‘ආදුරසාලයි’ නව කථාව පසුගිය වසරේ රාජ්‍ය සාහිත්‍ය උළේලේදී දෙමළ මාධ්‍යයේ හොඳම නව කථාව ලෙස සම්මානයට පත් විය. ඊට අමතරව 2016 දී ද හොඳම දෙමළ නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඔහු හිමිකර ගත්තේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *