අරගල නායකයාගේ මරණය වාර් තා කළ ආකාරය මාධ්‍ය සදාචාරය උළ්ළංඝණය කිරිමකි

සහෝදර මාධ්‍යවේදියෙකු මෙන්ම පසුගිය වසරේ ජනතා අරගලයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු ද වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්නගේ මරණය වාර්තා කිරීමේදී මාධ්‍ය සදාචාරය කෙළෙසමින් මෙන්ම මූලික මානුෂීයත්වයද පසෙකලමින් ලේක් හවුස් ආයතනයට අයත් දිනමිණ පුවත්පත විසින් පසුගිය 20වනදා සිය මුල්පිටුවේ සහ 7වන පිටුවේ ඡායාරූප ද සහිතව පුවතක් පලකිරීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වාගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම වෙත ලියුමක් යොමු කර ඇත.

එම යොමු කල ලිපිය පහතින්,

විමර්ශන නිලධාරි,
ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම,
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය,
අංක 96,
බර්නාඩ් සොයිසා මාවත,
කොළඹ 05.
2023/04/21

බුද්ධි ප්‍රබෝධ කරුණාරත්නගේ මරණය සම්බන්ධයෙන් පළ වූ දිනමිණ වාර්තාව පිළිබඳ විමර්ශනයක් සිදු කරන මෙන් ඉල්ලා සිටීම.

තරුණ සමාජ ක්‍රියාකාරියෙකු වන බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න අප්‍රේල් 19 වැනිදා සිය නවාතැනෙහි දී සිය දිවි හානි කර ගැනීම පිළිබඳ 2023 අප්‍රේල් 20 වැනිදා දිනමිණ පුවත්පත වාර්තා කළ අන්දම පිළිබඳ මේ වන විට සමාජය තුළ මෙන් ම සමාජ මාධ්‍ය අවකාශය තුළ ද බරපතළ හා විවේචනාත්මක සංවාදයක් නිර්මාණය වී තිබේ. ඒ සම්බන්ධයෙන් පුළුල් ලෙස විමර්ශනය කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම සිදුවීමට අදාළ දිනමිණ වාර්තාවෙහි සඳහන් කරුණු කිහිපයක් හා එම වාර්තාවෙන් ගොඩ නගන්නට උත්සාහ දරන සන්දර්භය පිළිබඳ ඔ‍බේ අවධානය යොමු කිරීම සඳහා මෙහි සඳහන් කරමු.

2023 අප්‍රේල් 04 වැනි දා බ්‍රහස්පතින්දා දිනමිණ පුවත්පතෙහි මුල් පිටුවේ ප්‍රධාන පුවතට යාව ඉහළ වම් පස වර්ණ ඡායාරූප මෙන් ම අක්ෂර සහිත ව සහ එම පුවත්පතේ ම 07 වැනි පිටුවේ ද වර්ණ ඡායාරූප සහිතව බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න සියදිවි හානි කර ගනිමින් මරණයට පත් ව ඇති බව ප්‍රමුඛතා සහිතව වාර්තා කර ඇත. (අදාල ඡායාරූප සඳහා ඇමිණුම බලන්න) මුල් පිටුවේ සහ ඍජුව දර්ශනය වන 07 වැනි පිටුවේ මෙම පුවත වාර්තා කර ඇති අන්දම අනුව පුවත්පත අපේක්ෂා කර ඇත්තේ ඉහළ පාඨක අවධානයක් බව පැහැදිලිය.

එම වාර්තා කිරීමේදී යොදා ඇති සිරස්තල සහ පි‍ටු සැකසුම් උපාය මාර්ග සළකන විට පැහැදිලි වන්නේ කිසියම් දේශපාලන අරමුණක් සහිතව මෙම වාර්තා කිරීම සිදු කර ඇති අතර සියදිවි නසා ගැනීමක් සම්බන්ධයෙන් මෙතරම් පාඨක අවධානයක් දිනා ගැනීමට ජාතික පුවත්පතක් උත්සාහ දැරීම සිය දිවි නසා ගැනීම් වාර්තාකරණයේ දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ද උල්ලංඝනය කරන බව පෙනී යයි.

මෙම වාර්තා කිරීමේදී මුල් පිටුවේ මෙන්ම 07 වැනි පිටුවේද “අරගලයේ ප්‍රධාන නියමුවෙක්” යනුවෙන් මරණකරු ලේබල් කිරීමට උත්හාස ගෙන ඇති බව නිරීක්ෂණය වේ. (Labeling Theory) එමගින්ද පුවත්පත කිසියම් දේශපාලන වුවමනාවක් සන්තර්පණය කිරීම සඳහා උත්සාහ ගන්නා බව අපගේ නිරීක්ෂණයයි.

මුල් පිටුවේ සඳහන් අනු සිරස්තල අතරින් එකක් සඳහන් වන්නේ “මරණකරු අධිමාත්‍රාවෙන් යුක්ත පෙති වර්ගයක් පානය කොට ඇති බවයි”. මෙය සියදිවි නසා ගැනීම් වාර්තාකරණය සම්බන්ධ ප්‍රමිතීන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව සිතන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මතය වන්නේ විෂාදයට හෝ ක්ෂතියට ගොදුරු වූ තැනැත්තන්ට එවැනි වාර්තාකරණයකින් මග පෙන්වීමක් හෝ උත්තේජනයක් ලබා දෙන බවයි.

මුල් පිටුවේ පළ ව ඇති සෙසු අනු සිරස්තලයක ඔහු අරගලය අවස්ථාවේ මුල්ම අට්ටාලය ඉදි කළ බවද සඳහන් කරන අතර මිය ගිය දිනයේම භූමදානය සිදු කළ බව සඳහන් කරයි. එම තොරතුරුද මරණකරුගේ කීර්ති හානිය සඳහා කළ වක්‍ර කරුණු දැක්වීම් ලෙසද තර්ක කළ හැකි අතර එවැන්නකින් මිය ගිය තැනැත්තෙකුගේ කීර්තියට හානි පැමිණවීමද පිළිගත් මාධ්‍ය ආචාර ධර්මවලට පටහැණිය. එහිදී ගැඹුරින් සළකා බැලිය යුත්තේ මිය ගිය තරුණයා අපරාධකරුවෙකු හෝ ත්‍රස්තවාදියෙකු ලෙස නීතිය ඉදිරියේ වරදකරුවෙකු වී නොමැති නිර්දෝෂී පුරවැසියෙකු යන්නයි.

මුල් පිටුවේ මේ පළ කිරීමට අදාලව ඔහු මිය ගොස් සිටින අන්දම දැක්වෙන ඡායාරූපයක් පළ කිරීම ඉතා බිහිසුණු අන්දමින් ජනමාධ්‍ය ආචාර ධර්ම හා ප්‍රමිතීන් උල්ලංඝනය කිරීමකි. එමගින් දිනමිණ පුවත්පත පිළිගත් පුවත්පත් ආචාරධර්මවලට අවමන් කර ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විශ්වාසයයි.

පුවත්පතෙහි 07 වැනි පිටුවේද මරණකරු මිය ගොස් සිටින අන්දම දැක්වෙන ඡායාරූපය පුනර් පළ කිරීමක් සිදු කර ඇත.

පාඨක අවධානයට භාජනය වන 07 වැනි පිටුවේ මරණකරු අවසන් වරට පළ කළ ෆේස්බුක් සටහනද ග්‍රාෆික පළ කිරීමක් සිදු කර ඇත.

එසේම එම පිටුවේ අරගලයට පෙර ඔහු විසින් පළ කළ සටහනක් හා ඔහු අරගලයේ නිරතව සිටින අන්දම දැක්වෙන වර්ණ ඡායාරූපයක්ද පළ කර ඇත.

07 වැනි පිටුවේ පුවත පළ කර ඇති අන්දමට අදාල ඉහත සඳහන් කළ කරුණු ත්‍රිත්වය වෙනම ගෙන පිරික්සීමේදී පෙනී යන්නේ මූලිකව අරගලයේ දේශපාලනික වශයෙන් විරුද්ධ පාර්ශව තුළ වෛරී හා අවමන් සහගත හැඟීමක් මරණකරු කෙරෙහි ගොඩ නැංවීමට පුවත්පත උත්සාහ දරා ඇති බවයි.

එසේම මෙම වාර්තාකරණය අපේක්ෂා භංගත්වයට පත් වූ වෙනත් තරුණ කොටස් කෙරෙහි උත්‍තේජනයක් වීමේ ශක්‍යතාවක් තිබිය හැකි බවද අපගේ නිරීක්ෂණයයි.
එම නිසා ජාතික පුවත්පතක් වන හා රාජ්‍ය සතු හෙයින් මහජන දේපළක් වන දිනමිණ පුවත්පත ආචාරධර්ම හා පිළිගත් ප්‍රමිතීන්ට අවමන් කරමින් හා ඒවා උල්ලංඝනය කරමින් සිදු කළ මෙම වාර්තාකරණය පිළිබඳ වැඩි දුර කරුණු විමර්ශනය කරන මෙන්ද සබුද්ධික පාඨක සමාජයේ දැනුවත් බව සඳහා ප්‍රසිද්ධ කරන මෙන්ද ඉල්ලා සිටිමු.

එසේම අදාල විමර්ශනයේදී අනාවරණය වන කරුණු කර්තෘ සංසදයේ දැනුවත් වීම සඳහා ඒ වෙත ඉදිරිපත් කරන මෙන්ද ඉල්ලා සිටිමු.

ලසන්ත ද සිල්වා
කැදවුම්කරු
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *