අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම ලංකා ගුරු සංගමය හෙළා දකි.

අපොස උසස් පෙළ විභාගය අවසන් වී මාස දෙකක පමණ කාලක් ගත වී තිබියදීත් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සම්බන්ධ ගැටලුවට ආණ්ඩුව විසින් සාධනීය පිළියමක් ලබා නොදෙන ලදී. එසේ තිබියදී උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා නොකරන්නේ නම් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. අධ්‍යාපන පද්ධතියේ ගැටලු විසඳීම පසෙක තබා කිසිදු ජන බලයක් නොමැතිව බලයට පත්ව සිටින ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශය අපි තරයේ හෙළා දකිමු.

පිළිතුරු පත් ඇගයීම වෙනුවෙන් ගුරුවරුන්ට ගෙවන දීමනා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් යොමු කොට අනුමැතිය ලබා ගත්තද ජනාධිපතිවරයා යටතේ පවතින මහා භාණ්ඩාගාරය විසින් එම කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් නොකර, මාස දෙකක පමණ කාලයක් ගත වූ පසු උසස් පෙළ දරුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන ජනාධිපතිවරයෙක් ඒ වෙනුවෙන් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවා කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශ සිදු කිරීම බරපතළ කනගාටුදායක තත්ත්වයකි.

එසේම උසස් පෙළ විභාගයේ ගුණාත්මකභාවය රඳවාගැනීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු පාලක පරීක්ෂවරු ලෙස සිටීම අවශ්‍යව තිබියදී, ඔවුන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලු විසඳා පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ආරම්භ කිරීම වෙනුවට ඔවුන් නොමැතිව පිළිතුරු පත් ඇගයීම සිදු කරන්නේ නම් එය බරපතළ ගැටලුවකි.

මේ තත්ත්වය යටතේ ආණ්ඩුව විශ්වවිද්‍යාල ආචාර්යවරු සමග සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමත්, පිළිතුරු පත් පරීක්ෂා කරන ගුරුවරුන්ගේ දීමනා ප්‍රමාණවත් ලෙස ලබාදීමත් මගින් උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම් කටයුතු ආරම්භ කළ යුතු බව ද වැඩිදුරටත් පෙන්වා දෙමු.

– ලංකා ගුරු සංගමය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *