සීනි පැණි රසය . එහෙත් සීනි පසුබිමේ ඇති කතා ඇතැම් විට තිත්ත රසය. නැතහොත් නී රසය. ඒ මොන රස වෙතත් ලංකාවේ සිනි ගැන කතා කරනා කොයි කාටත් කන්තලේදී නතර වන්නටම සිදු වේ. ඒ ලංකාවේ පිහිට් දැවැන්තම කම්හල නැතිනම් කර්මාන්ත ජනපදය පිහිටියේ කන්තලේ වන බැවිනි. මේ කියන්නට යන කන්තලේ දැවැන්ත කර්මාන්ත පුරයේ හැඳුවේ සීනිය. ඊට අමතරව එහි එතනෝල්ද නිෂ්පාදනය විය. එතනෝල් ප්‍රධාන යොදාගන්නේ වශයෙන් මත් පැන් සාදන්නටය. එහෙත් ඉන්ධනයක් ලෙසින්ද එතනෝල් යොදාගන්නට හැක. ලංකාවේ කෝටි දෙකකට වඩා මිනිස්සු දිනකට තුන් හතර විඩක් නිවැරදීම තේ බොති. ඉන් බහුතරයක් තේ බොන්නේ සීනි සමගය. ඊට අමතරව රස කැව්ළි සාදන්නටද සීනි යොදා ගනී. ඊට අමතරව ලංකාවේ ජන ගහනයෙන් බහුතරයක් මත් පැන් බොන්නෝය. මත් පැන් සාදන අංක එකේ අමුද්‍රව්‍ය එතනෝල්ය. තේ බොන්නෝ මත් පැන්බොන අතර මත් පැන් බොන්නෝ තේද බොති. ඒ කියන්නේ මේ දෙගොල්ලම අවසාන වශයෙන් සීනී පාවිච්චි කරන්නෝය. කෝටි දෙකකට ආසන්න ගණනක් සීනි බීවද ලංකාවේ ලොකුම සීනි ෆැක්ටරිය දැන් කලක සිට වසා දමලාය. සීනී ඇතැම්විට තිත්තවන බව ලියුම්කරු මුලින්ම කීවේ ඒකය. මෙතැන් සිට පහළට ඔබ කියවන්නේ කන්තලේ සීනි තිත්ත වීමේ ඇතත කථාවය. කථාව ඇත්ත වුවත් ඇත්තටම කථාව තිත්තය.

මේ කියනා කන්තලේ සීනි කම්කල ලංකාවට හිමිවන්නේ පරිත්‍යාගයක් ලෙසිනි. ඊට එකම එක සතයක් වත් ලංකාවෙන් වැය කර නැත. 1957 වසරේ මෙම කම්හල ඉදිකිරීම ආරම්භ කරන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක අගමැති ධූරය මහජන එක්සත් පෙරමුණු අණ්ඩුව පැවති සමයේය. ඒ කාලයෙ බණ්ඩාරනායකලා කොහොමටත් සමාජවාදී රටවල් සමග මිතුරු කම් පවත්වාගෙන ගිය බව ප්‍රකටය. ඒ මිතුරු කම් නිසාදෝ කන්තලේට දැවැන්ත සීනි කම්හලක් ලබාදෙන්නට එකඟ වන්නේ චොකෝස්ලෝවැකියා ජනරජයයි. දෙවෙනි ලෝක සංග්‍රමයෙන් පසු යුරෝපයේ වේගයෙන් පතිරුණ කාර්මික විප්ලවය නිසා සමාජවාදී රටවල ලොකු කාර්මික පුබුදුවක් ඇතිව තිබුනි . කන්තලේ සීනි කම්හළ අපට හිමිවන්නේද ඒ කාර්මික විප්ලවය සමග බැඳී බටහිර අධිරාජ්‍යට එරෙහි රටක් ලෙස ලංකාව අළුත් ආණ්ඩුව කටයුතු කළ නිසා විය හැක. මේ කියනා සමයේ ච්කොස්ලෝවැකියාවේ නිපදවූ වාහන ලංකාවේ වෙළඳපොළේ බ්‍රිතාන්‍ය වාහන සමග තරග කරමින් තිබුනි. බ්‍රිතාන්‍යයේ මැසී ෆර්ගියුසන් ට්‍රැක්ටරය සමග චෙකොස්ලෝවැකියාවේ නිපදවූ අයි. එම්. ටී ට්‍රැක්ටරය ගොවි බිම්වල තරග කරද්දී, ඔස්‍ටින්, මොරිස්, ෆෝර්ඩ් වැනි වාහන සමග චෙක් රටින් ආ ස්කෝඩා කාර් මහ පාරේ හරි හරියට තරග කළේය. බ්‍රිතාන්‍යයෙන් ගෙනා බී.ඇස්.ඒ , ට්‍රයම්ප් මොටෝ සයිකල් සමග චොකොස්ලෝවැකියවේ ජාවා මොටෝ සයිකලය තරගයට සූදානම් වුවද සුද්දෝ එය වතුවලට වද්දා නොගත්හ . එහෙත් පෞද්ගලික හිමිකරුවෝ ඊට ප්‍රිය කළහ. ඩන්ලොප්, ගුඩ් ඉයර් ටයර් සමග චෙක් රටේ බැරම් ටයරය තරගයට සූදානමින් සිටීහ. මේ අකාරයෙන් ලංකාවට චෙක් කාර්මික උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර හුරුවෙමින් පැවති යුගයක මේ දැවැන්ත කම්හල ශ්‍රී ලංකාවට නොව ලංකාවට හිමිවූයේය. තම කාර්මික උපකරණ සඳහා ලංකාවේ වෙලඳපොළ අල්ලා ගැනිමට චෙක් රට ලංකාවට සීනි කම්හල ලබදුන් බවට මතයක්ද වෙයි. එහි ඇත්ත නැත්ත කුමක් වුවත් ලංකාවට ලැබුන ලොකුම කාර්මික ත්‍යාග අතර සීනි කම්හල ඉදිරියෙන් සිටී.
කන්තලේ සීනි කම්හල යනු දැවැන්ත ඉදි කිරීමකි. ඒ සඳහා යොදාගත් බිම් ප්‍රමනය අක්කර 21,223 කි. 1957 අංක 49 දරණ රාජ්‍ය කාර්මික සංස්ථා පණත යටතේ පිහිටවනු ලැබූ මෙම කම්හල 1960 ඔක්තෝබර් 2 වන දින විවෘත කරනු ලැබුවේ එවකට සෙනට් සහිකාවක් ලෙස පාර්ලිමේන්තුවට පත්ව ලෝකයේ මුල්ම අගමැතිණිය බවට පත්ව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසිනි. මුළු කර්මාන්ත ශාලා පරිශ්‍රයම චෙක් රජයෙන් පරිත්‍යාගයක් ලෙස ඉදිකර දුන් අතර ප්‍රධාන කර්මාන්ත ශාලාවට අමතරව, එතනෝල් නිස්සාරණය සහ ගබඩා කිරිමට වෙනමම අංශයක්, නිළ නිවාස 800ක්, ආරෝග්‍යශාලාවක්, ගිලන් රථ, පුස්තකාලයක්, බැංකුවක්, පාසලක්, සුපිරි වෙළඳ සැලක්, පාපන්දු ඇතුළු ක්‍රීඩා සඳහා ක්‍රීඩාංගණයක්, නිළධාරීන් සහ සේවකයන් සඳහා වෙන වෙනම සමාජ ශාලා දෙකක්, පොලිසියක්, පන්සලක්, පල්ලියක්, බේකරියක් ඇතුළු දියුණු නගරයකකර අවශ්‍ය සෑම පහසුකමක්ම ඇතුළත් විය. එපමණක්ද නොව වැසි ජලය බැස යාම සඳහා කානු පද්ධතීන් සහ කසළ බැහැර කිරිමේ පද්ධතීයක්, වැව් දෙකක් මේ කර්මාන්ත ශාලාවට අයත් විය. බර වාහන සහ සැහැල්ලු වාහන සඳහා වෙන වෙනම නඩත්තු අංගන කිහිපයක්, වෙනමම බස් රථ සේවාවක්, ඉන්ධන පිරවුම්හල් වැනි සේවා අංගද ඊට අයත් විය. කෙටියෙන් කන්තලේ සීනි කම්හල යනු රටක් ඇතුලේ වෙනම රටකි. වෙනකක් තබා මෙ දැවැන්ත කම්හලට ඇවැසි විදුලිය නිපදවූයේද සීනී නිපදවා ඉවතලන උක් රොඩු දහනයෙනි . මේ සියළු අංග සපිරුණ කන්තලේ සීනි නගරයේ නොතිබුනේ බයස්කෝප් හොල් එකක් පමණක් බව එහි පැරණි සේවකයෝ පවසති.
අක්කර 21,223 ක් වූ කම්හල සතු මුළු ඉඩම් ප්‍රමානයෙන් අක්කර 11,500 ක පමන උක් වවා තිබුනි. ස්ථිර සේවකයන් 1300 එහි සේවය කළ අතර අනියම් සේවකයන් ඇතුළු සමස්ත සේවක සංඛ්‍යාව 5000 කට ආසන්න විය . කම්හලේ දෛනික උක් ඇඹරීමේ ධාරිතාව මෙට්‍රික් ටොන් 1200 ක් විය. ඇඹරුම් වාර දින 160 ක් තුළ උක්ගස් මෙට්‍රික් ටොන් 192,000 අඹරා සිනී මෙට්‍රික් ටොන් 16,320 නිපදවීමේ හැකියාව කම්හල සතු විය . ඊට අමතරව දින 300 ක් තුළ ස්ප්‍රීතූ (එතනෝල්) ලීටර් මිලියන 3.6 ක් නිපදවීමටද ඊට හැකි විය. මේ සියළු තොරතුරු කන්තලේ සීනි සමාගමේ අබිලි යකඩ අලවි කිරීම පිළිබඳව පැවත්වූ විඝණනයේ තොරතුරු ඇතුලත් විඝණකාධිපති වාර්තා වේ සඳහන් වෙයි.
1960 නිෂ්පදන ඇරඹූ කන්තලේ සීනි සමාගම ශ්‍රි ලංකාවේ වාර්ශික සිනි අවශ්‍යතාවයෙන් 8.5% ක් සපයන්නට සමත් වූයේය. මේ මාහා කර්මාන්ත නගරය නඩත්තු කරමින් භාණ්ඩාගාරයටත් ප්‍රතිපාදන සපයූ කන්තලේ සීනි දැවැන්තයාගේ මල්බර සමය 1970 – 80 අතර කාලය බව එහි සේවකයෝ පවසති. ” ඒ කාලේ රෑට ලයිට් දැම්මාම ෆැක්ටරිය හරියට මුහුදේ පාවෙන නැවක් වගේ. බලන්න ලස්සනයි. ඒත් බලන්නකෝ දැන් හැටි මකලඩ කාලා දිරා ගිහින් හරියට අනිත්‍ය මෙනෙහි කරන හොඳයි” වරක් එහි ගිය ලියුම්කරු සමග ඕවුහු පැවසූහ.

1977 දී විවෘත ආර්ථිකය යටතේ භාණ්ඩ ආනායනය පුළුල් විය. නව දේශපාලන වෙනස සමග මිනිස්සු වෙනස් වන්නට වුහ. දේශීය සීනි නිෂ්පාදනය රටේ අවශ්‍යතාවයන් සපුරන්නට කිසි සේත් ප්‍රමානවත් වූයේ නැත. මැතිණියගේ කාලයේ ”සීනී නැතිව තෙ බොන්නම්” යයි පෙළපාලි ගිය ලාංකිකයෝ පියවි ලෝකයට පාතබා තිබුනි. එහෙයින් ශ්‍රී ලංකාවට අවශ්‍ය සීනී ආනයනය කිරිමට ආණ්ඩුවට සිදු විය. ඒ වනවිටත් ලෝකයේ සීනි කර්මාන්තයා බොහොසේ දියුණු වි තිබුනි. ලංකාවේ සීනි කර්මාන්තයට යොදාගත් තාක්ෂණයට වඩා කාර්යක්ෂම තාක්ෂණයක් යොදාගන්නා රටවල් සීනි සඳහා තරග කාරී මිලගණන් ඉදිරිපත් කිරීම නිසා කන්තලේ සීනිවලට වඩා ආනයනික සීනි කෙරෙහි ව්‍යාපාරිකයෝ ආකාර්ශණය වූහ. මේ අතර තුර දේශපාලන බලපැම් නිසා කම්හලේ සේවක ප්‍රමානය ඉහළ යාම වැනි දේ සිදු වන්නට විය. 1975 පමණ වන විට කම්හල පූර්ණ නවීකරණයකට ලක් කළ යුතුව තුබූ මුත් 77 දී බලයට ආණ්ඩුව එය හිතා මතාම මග හැර සිටියේය. එහෙත් මේ සියලු අලකලංචි මැද්දේ කන්තලේ සීනී තිත්ත්ත නොවී තබාගන්නට එහි සෙවකයෝ සමත් වූහ. මේ ආකාරයෙන් අභිමානවත් ආකාරයෙන් පවත්වාගෙන ආ සීනි කම්හලට උඩින් කන කොකා හඬන්නට පටන් ගන්නේ 1990 දශකයෙදීය.
ඒ වන විට ඊළාම් යුද්ධයේ කළු සෙවනැළි උතුරෙන් නැගෙනහිර දෙසට දික් වෙමින් තිබුනි. වෘතීය සමිති ක්‍රියාකාරම් කම්හළ තුළ සක්‍රීය වීම නිසා වර්ජන ආදියද විටෙන් විට මතුවන්නට විය. අවසානයේ කන්තලේ සීනි කාම්හල සම්බන්ධ ආඩම්බරකාරී සිතුවිළි යට කරමින් කම්හලේ බර ආණ්ඩුවට දැනෙන්නට විය. සීනි කම්හල නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කර සිනී නිෂ්පාදනයේ ගෝලීය තරගයට මුහුණ දෙනු වෙනුවට කම්හල යකඩ වලට විකුණා කොමිස් කුට්ටියක් ඩැහැගැනීම වාසි දායක බව ඇතැමුන්ගේ අදහස විය. ඒ අනුව 1993 දී කන්තලේ සීනි කම්හල පෞද්ගලික සමාගමක් වු ලංකා ඒජන්සීස් වෙත පවරා දීමට කටයුතු කෙරුණි. එහෙත් එම ආයෝජකයා කම්හලේ සම්පත් සූරාකන්නට වූ බවත් සෙවකයන් දැඩි නීති රීති මධ්‍යයේ පාලනය කරන්නටත් පටන් ගත් නිසා නැවත ගැටළු ඇතිවිය . එ අනුව එම වසර අගභාගයේ කම්හල නැවත රජයට පවරා ගැනීමට එවකට පැවති ආණ්ඩුවට සිදු විය. 1994 වන විට කන්තලේ සීනි සමාගම එහි අවසාන අදියරට පැමිණ තිබුනි. තව දුරටත් උක් අඹරන්නට උක් දඬු නොවූ නිසා කම්හලේ දැවැන්ත යන්ත්‍ර සූත්‍ර එක තැන නතර වන්නට විය. අවසානයේ සේවකයන් 234 දෙනෙකු පමණක් රඳවාගෙන කම්හළ වසා දමන්නට ආණ්ඩුව 1994 දී තීරණය කළහ.

කන්තලේ සීනි කම්හල පවරා දුන් ආයෝජකයා වන ලංකා ඒජන්සීස් සමාගම කම්හල නැවත පවරාගැනීම ගැන පවරා තිබූ නඩුව ආණ්ඩුවේ වාසියට 2003 වසරේ නිමාවට පත්වීමත් සමග කන්තලේ කම්හල යළි අරඹන්නට හැකි වෙතැයි එහි සේවකයෝ සුබ සිහින දුටුහ. ආණ්ඩුවද විදෙස් ආයෝජකයෙකු සොයාගන්නට උත්සහ ගන්න ලදි. අවසානයේ ආයෝජන මණ්ඩලය හරහා ඉන්දීයාවේ ශ්‍රී ප්‍රභූලිංගේෂ්වර නම් සමාගම කන්තලේ කම්හල අරඹන්නට එකඟ විය. එහෙත් නිතර නිතර කොන්දේසි සංශෝදනය වීම සහ වෙනත් කරුණු රැසක් නිසා එම සමාගමද කන්තලේ සීනි පැණිරස කිරීමේ වගකිම අත හැර දැමූහ. ඉන් අනතුරුව එම්.ජී. ෂුගර් නම් සමාගමක් කම්කල භාර ගැනීමට ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත වුවද අබිලි යකඩ විකිණීමේ කොන්ත්‍රාත්තුව සම්බන්ධ ගැටළුවක් නිසා එම ගණුදෙනුවද ක්‍රියාත්මක වූයේ නැත. අද වන විට කන්තලේ කම්හල පුරා ඇත්තේ දිරා යමින් පවතින වාහන සහ යන්ත්‍ර සූත්‍රය. ඒවායෙන් ඇතැම් ඒවා යළි ගොඩගත නොහැකි බව බැලූ බැල්මට පෙනෙනා මුත් මෙහි රැඳී සිටනා සේවකයෝ එයින් දුර්මුඛ වන්නේ නැත. ” මේවා ගොඩ ගන්න පුළුවන්” යයි එහි ඉඳහිට යනෙනා කොයි කා සමගත් ඔවුන් පවසයි.
කන්තලේ කම්හල පැරණි කම්හලේ හැකි සෑම සම්පතක්ම යොදාගෙන නව කම්හලක් අරඹන්නට නව ආයෝජකයෙක් සොයාගත හැකිනම් එය අගෙ ඇති ක්‍රියවකි. එමෙන්ම එය කළ නොහැකි ක්‍රියවක් නොවන්නේද නොවේ. එහෙත් ඇඟැළුම් කම්හලක් වැනි දෙයකට කරනා ආයෝජනයකට වඩා දැවැන්ත ආයෝජනයක් ඒ සඳහා කළ යුතු වෙයි. එවැනි ගනුදෙනු වලට ආයෝජකයන් දිරිගන්වන ආකාරයේ පරිසරයක් තවමත් ලංකාවේ නැත. අණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වන බදු ප්‍රතිපත්ති සහ ගේන ගේන නීතියට එරෙහිව වර්ජන කරනා රටකට විත් දේශපාලන මැරයන් ගෙන් ගුටිකා ඉස්පිරිතාල ගානේ ලගින්නට තරම් අමාරුවක් කිසිම ආයෝජකයෙකුට නැත. ඊට අමතරව ආණ්ඩුවට කරගෙනයන්නට බරි තැනට පත්වූ ව්‍යවසායන් ජාතික සම්පත් ලෙස අර්ථ දක්වන දේශපාලන න්‍යාය සහ ජනතා ආකල්පද වෙනස් විම මහා පරිමාන ආයෝජන සඳහා උත්තේජන සපයයි. ඒත් ලංකාවේ ඇත්තෝ මේ කරුණු ගැන දක්වන්නේ ඉතා පසුගාමී ආකල්පයන් ය. එබැවින් කන්තලේ සීනි කම්හලට පන දීම යනු හළ නොහැක්කක් නොවනා අතරම හිතනා තරම් පහසු වැඩක් නොවනා බව පැවසිය යුතුය. සීනී වලට වෙනම ඇමති කෙනෙක් සිටි කාලයෙවත් කම්හල අරඹන්නට බැරි වූයේ ඒකය.
එහෙත් ඝෝඨාහය රාජපක්ෂ බලයට පැමිණි කාලය මෙරට තරුණ ප්‍රජාව ඉමහත් උද්‍යෝගයකට පත්ව ක්‍රියා කළ බව ඔබටද මතක ඇත. තරුන දූ පුතුන් තාප්ප වල චිත්‍ර අඳිමින් පෙන්වූයේ එකී උනන්දුවයි. එසමයේ කන්තලේ කම්හල නරඹන්නට ගිය තරුණ කොටස් එහි දිරායමින් තිබෙනා යකඩ තොගය දැක ඉන් වශීකෘතාවී කම්කල අරබන්නට උත්සහ ගත් හ. එහෙත් මේසා දැවැන්ත කාරයක් හුදු බාහු බලයෙන් පමනක් කළ නොහැකි බව පසක් කරමින් එකී උත්සහය ලත් තැනම ලොප් විය. අදවන විට එම තරුණ කොටස් තුළ එකී ආවේගය නැත. මහත් බලාපොරොත්තු තබා සිටි ජනාධිපති ඝෝඨාභය ජනතාව විසින් පලවා හැර අවසානය. කම්හල සාදා දුන් චෙකොස්ලෝවැකියව අද ලෝක සිතියමේත් නැත. ඒ වෙනුවට ඇත්තේ චෙක් සහ ස්ලෝවැකියා නමින් රටවල් දෙකකි.

සේවකයන් පිරිසක් තවමත් එහි රැඳී සිට හැකි විලසින් කම්හල ආරක්ෂා කරයි. කම්හලට දැඩි සේ ආදරය කළ ඕවුහු එය යළි ආරම්භ කරනාතෙක් බලා සිටිති. ඒත් මේ වනවිට මුළු කම්හල් බිමම වනාන්තරව විසින් ගිලගෙන තිබේ. ඔබ විශ්වාස නොකළද අද වන විට අලි ඇතුන් පවා ගැවසෙන දැවැන්ත වනාන්තරයක් කම්හල වටකර ගනිමින් නැගී සිටී. ඊට අමතරව නයි පොළඟුන් සෑම තැනය. මේ සියළු තර්ජන මැද එහි රැඳී සිටිනා සේවකයන් අත ලොස්සේ බලා පොරොත්තුව මැරෙන්නට පෙර කන්තලේ සීනී ටිකක් අල්ලට දමා කහට උගුරක් බොන්නටය. ඔවුනට ලෝකයේ කොයි කොදෙව්වෙන් සීනි ගෙනාවත් ඒවා තමන් නිපදවූ කන්තලේ සීනී තරම් පැණි රස නැත. ” මහත්තයෝ මේක ආයි පටන් ගන්නවානම් අපි පඩියක් නැතිව මේක එළිකරලා දෙන්නම්. ඒකත් පත්තරෙට ලියන්න” යයි එහි සිටි සේවකයෙකු පවසීය. ඒ නිර්ව්‍යාජ ප්‍රකාශය කියපාන්නේ කන්තලේ සීනි පැණි රස කරන්නට ඔවුන් තුළ ඇති උවමනාව නොවේදැයි ලියුම්කරුට සිතුනි.