”නිරූපිකාවක් වෙන්න මම ආගම බාධාවක් කර ගත්තේ නෑ.” ලාංකේය නිරූපන කලාවේ අලුත්ම සරාගිනිය, ෂාශා ග්‍රේස් කියයි

නිරූපණය කියන්නේ කලාවක්. කලාව හා රසවින්දනය අපි හැමෝටම පොදුයි. ආගම ජාතිය කුල භේදය කලාවට බාධාවක්. එවැනි බාධාවන් අභියෝගයකට ගනිමින් තම දක්ෂතා ඔස්සේ නිරූපණ ක්ෂේත්‍රයේ ගමන් ආරම්භ කළ සුන්දර තරුණියක් සමග අද අපි කතාබහට එක් වුණා.

ඇය නමින් අල් ෂාශා ග්‍රේස්. මුස්ලිම් සම්භවයක් ඇති සුන්දර තරුණියක්. සමාජය තුළින් මොන තරම් බාධාවන් පැමිණියත් තමාගේ දක්ෂතාවයෙන් ඉදිරියට පැමිණි ඇය ශ්‍රී ලාංකික තරුණියන් දිරි ගන්වන්නට සමත් වන්නීය.

  • ඔබ නිරූපණ ශිල්පිණියක් විදිහට සිංහල කලාව තුළට පැමිණීම ගැන මොනවද හිතන්නේ.?

ලංකාවේ වැඩිපුර ඉන්නේ සිංහල ජනතාව. ඉතින් ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ගැලපෙන විදියට සිංහල සංස්කෘතියට ඇතුළු වෙලා මගේ දක්ෂතාවයෙන් ජනප්‍රිය වෙන්න පුලුවන් කියලා මම තීරණය කලා. ඒ වගේම සියලුම භාෂාවන් කතා කරන ජනතාව අතර නිළියක් වෙන්න මම කැමතියි.

  • ඔබ නිරූපණ ක්ෂේත්‍රයට පැමිණීම පිළිබඳ හා ආගමික වශයෙන් විරෝධතා තිබුනද. ?

ඇත්තටම ඔව්. මට මුලින් ම තිබුණේ සහර්ජාන් කියන නාමය. ආගමික වශයෙන් ගැටළු ආපු නිසා තමයි මම සහජාන් කියන නම වෙනුවට ෂාශා කියන නම භාවිත කරන්න පටන් ගත්තේ.

  • සහර්ජාන් ලෙස සමාජය තුළ මුහුණ දෙන ගැටළු සහ ෂාශා ග්‍රේස් ලෙස ඔබට සමාජයේ දී හමුවන ගැටලු සහ අභියෝග මොනවාද?

ෂාශා ග්‍රේස් විදියට සමාජය තුළ මම සතුටින් ජීවත් වෙනවා. සහර්ජාන් කියන නාමය කලාව තුළට එන විට මම ඉවත් කර ගත්තත්, මම ආගමෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙලා නැහැ. මම ආගම තුළ ඉන්නවා. ආගම, හැකියාව, සහ රැකියාව කියන්නේ එකිනෙකට වෙනස් දේවල්. ඉතින් මම ෂාශා විදියට මගේ හැකියාවන් සහ දක්ෂතාවයන් ට අනුව සමාජය තුළ සතුටින් ජීවත් වෙනවා. නිදහස භුක්ති විඳිනවා.
ඒ වගේම තමයි කෙනකුගේ ආගමක් හැකියාවට සහ දක්ෂතාවයට බාධාවක් වෙන්න බැහැ. ආගමක් කළ පුද්ගලයන්ට නිදහස තිබිය යුතුයි. මගේ ඉස්ලාම් ආගම තුළ, කාන්තාවන් යටපත් කරලා සීමා කිරීම තුළ ගොඩක් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. රංගනයට හෝ නිරූපණයට කාන්තාවක් පැමිණියොත් ඇයට සමාජයේ විවිධාකාර බලපෑම් තියෙනවා. පාරට වත් බහින්න බැරි තරමට බාල්දු කිරීම සිදුවෙනවා. අපේ ආගම තුළ කාන්තාවන් හිර කරගෙන ඉන්නවා.
කොහොම වුණත් ඒ සියලුම අභියෝගවලට මම මුහුණ දෙන්න ලෑස්තියි.ෂාශා විදියට මම මගේ හැකියාවන් ඉදිරියට ගෙන යනවා.

  • මුස්ලිම් තරුණියක් ලෙස සිංහල සිනමාවට පැමිණීමට තිබෙන අභියෝග මොනවාද.?

සාමාන්‍යයෙන් සිංහල සිනමාවට පැමිණීමට නම් සම්බන්ධතා රැසක් අවශ්‍යයි. ඒ කියන්නේ ගොඩක් අයව හමුවෙන්න සිදුවෙනවා. දක්ෂතාවයට වඩා පුද්ගලික හැඳුනුම්කම් වලට, හිතවත් කම් වලට තමයි වැඩිපුර අවස්ථාව ලැබෙන්නේ.

  • සිංහල සිනමා ක්ෂේත්රය තුළ ඔබට එවැනි අපහසුතා සිදුවෙලා තියෙනවාද?

ඇත්තෙන්ම ඔව් නම් වශයෙන් කියන්න බැහැ ගොඩක් අවස්ථාවල අවස්ථාවල අපහසුතාවයට පත්වෙලා තියෙනවා.ඒ වගේම දක්ෂතාවයට ලැබෙන්නේ පොඩි මුදලක්.

  • නිරූපණ ක්ෂේත්‍රය තුළ සාර්ථකව ගමන් ආරම්භ කළ ඔබ රංගනය තුළින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමට යාමට බලාපොරොත්තු වෙනවද ?

නිරූපණ ක්ෂේත්‍රයට පැමිණි ඕනෑම ඒ තුළින් ඉදිරියට යන්න කැමතියි. නමුත් ඇත්තෙන්ම මම, සාමාන්‍යයෙන් නිරූපණ ක්ෂේත්‍රය තුළ ඉන්න කැමති. තවම මම බහුතරයක් pageant වලට සහභාගි වෙලා නැහැ. මම වැඩිපුරම කැමති රංගනයට. ජාතික තලයේ හෝ ජාත්‍යන්තර මට්ටමේ ඉන්දියානු සිනමාවට රංගනයෙන් දායක වීම සහ ජනප්‍රිය වීම තමයි මගේ බලාපොරොත්තුව.

  • ඉන්දියානු සිනමාව තුළ ඔබට අවස්ථා ලැබිලා තියෙනවද ?

ඔව් මට අවස්ථා දෙකක් ම ලැබුණා. රංගනයෙන් දායක වෙන්න. මූලික හඬ පරීක්ෂණත් සමත් වුණු මට පෞද්ගලික හේතුවක් නිසා එම අවස්ථාව අහිමි වුණා. ඒ ගැන මම අදටත් කණගාටු වෙනවා.

  • ෂාශා ගේ පවුලේ විස්තර මොනවද?

මගේ තාත්තා පොඩි කාලේ කාලෙම අම්මව දාලා ගිහිල්ලා. මම පොඩි කාලේ අම්ම සහ ආච්චි එක්ක ජෝජියා වල තමයි ජීවත් වුණේ. මගේ අම්මගේ බලාපොරොත්තුව වුණේ මාව වෛද්‍යවරියක් කරන එක. ජෝර්ජියා වල වෛද්‍ය පීඨයේ ඉගෙන ගනිමින් ඉද්දි මගේ අම්ම නැති වුණා. මගේ අධ්‍යාපනය අතරමඟ නතර කරලයි ලංකාවට ආවේ. මම දැනට ජීවත් වෙන්නේ මගේ ආච්චි සමග. අම්මා හිටියනං මම අද වෛද්‍යවරියක්.

  • ඔබ තරුණියක් විදියට ආදරේ ගැන මොනවද හිතන්නේ?

මම ආදරයට ආදරය කරන කෙනෙක්. සැබෑ ආදරය කියන තැනක ප්‍රශ්න අඩුයි. සැබෑ ආදරය තුළ තමන්ගේ පෙම්වතියට සීමා පැනවීමක් සිදු නොවන ආදරය වටිනවා. රංගනයට නිරූපණ ක්ෂේත්‍රයට එන තරුණයන්ට බහුතරයක් පිරිමි ගොඩක් සීමා දානවා. නමුත් ක්ෂේත්‍රය තුළ ඉදිරියට යාමට නම් ආදරය පසුබිමේ ශක්තියක් විය යුතුයි. මම හිතන්නේ එහෙමයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *