වසර 37 කට පසු අලුත් වන තලෙයි මන්නාරම ජැටිය

පැවති කුරිරු යුධමය වතාවරණයක් සමඟ කැඩී බිඳී දිරාපත් වු තලෙයි මන්නාරම ජැටිය යළි ප්‍රතිසංස්කරණය කොට රාමේෂ්වරන් සිට පැමිණෙන මගී සංචාරක යාත්‍රා සඳහා පහසුකම් සැපයීමේ වරායක් ලෙස සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර තිබේ.

ඒ අනුව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ උපදෙස් පරිදි ජැටියේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට වරාය අධිකාරිය විසින් සැලසුම් සකස් කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 1800 ක පමණ මුදලක් ඇස්තමේන්තු කර ඇතැයි වාර්තාවේ.

ජැටියේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට සමගාමීව ප්‍රථම අදියර යටතේ වරායේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ජැටියට මායිම් වන රජය සතු ඉඩම් වලින් අක්කර 10ක පමණ භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට ද තීරණය කර ඇත.

මෙම සංවර්ධන වැඩපිළිවෙළ යටතේ නවීන මගී පර්යන්තයක්, ගබඩා සංකිර්ණයක්, ඇතුළු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට සැලසුම් කර ඇති අතර රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ දෙස් විදෙස් ආයෝජකයින්ගේ අභිලාෂ කැඳවීමට තීරණය කර ඇත.

අතීතයේ තලෙයි මන්නාරම සිට ඉන්දියාවේ ධනුෂ්කොඩිය දක්වා මගී යාත්‍රා සේවාවක් පැවති අතර තමිල්නාඩු ප්‍රාන්තයට බල පෑ විශාල සුලි සුලං තත්වයක් හේතුවෙන් ධනුෂ්කොඩි වරාය විනාශ විය.

එහෙයින් ඉන්දියානු රජය විසින් රාමේෂ්වරම් වරාය පූර්ණ සංවර්ධනයකට ලක් කොට ඇති අතර ඉදිරියේදී තලෙයි මන්නාරම සහ රාමේෂ්වරම් අතර මඟී යාත්‍රා සේවාව සඳහා අවශ්‍ය අනුමැතිය ඉන්දියානු රජය විසින් ලබා දී ඇති බවද මෙහිදී හෙළි විය. මෙම සංවර්ධන කටයුතු සැලසුම් කිරීම සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා නීරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර ඉන් අනතුරුව අදාළ ගැටලු නිරාකරණය කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවකට ද සහභාගි විය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *