ලංකාවේ බඩඉරිඟු ප්‍රවර්ධනයට නව පියවරක්

ශ්‍රී ලංකාවේ ලබන මහ කන්නයේ දී හෙක්ටයාර් 16,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂිව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩ සටහන මඟින් අවශ්‍ය සහයෝගය පළ කරන බව කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල (INTERNATIONAL FUND FOR AGRICULTURAL DEVELOPMENT- IFAD) එකඟතාවය පළ කර ඇති බව වාර්තාවේ.

එම අරමුදලේ මෙරට නියෝජිත හා ආසියානු හා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂිකා SHERINA TABASSUM ඊයේ (13) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී අදාල ව්‍යාපෘතිය සම්බන්ධව සාකච්ඡා කර ඇත.

මෙරට සත්ව ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියට හෙක්ටයාර් 16,000ක් තෝරාගෙන ඇත. ඒ අනුව අනුරාධපුර, හම්බන්තොට, මොණරාගල, පොලොන්නරුව හා අම්පාර දිස්ත්‍රික්ක ඉළක්ක කර ගනිමින් එම බඩඉරිඟු ව්‍යාපෘතිය ලබන මහ කන්නයේ දී ආරම්භ කෙරේ.

උසස් තත්ත්වයේ දෙමුහුම් බීජ, රසායනික පොහොර, බිම් සැකසීමට අවශ්‍ය පහසුකම් මෙන්ම ව්‍යාපෘතිය මගින් තෝරාගන්නා ලද බඩඉරිගු වගා කරන ගොවීන්ට නැවත අය කර නොගන්නා මුල්‍ය පහසුකම් ද ලබා දීමට නියමිතය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් කරන ලද යෝජනාවක් අනුව හෙක්ටයාර් 16,000ක බඩඉරිඟු වගා කිරීමේ මෙම ව්‍යාපෘතියට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ද ඇය ප්‍රකාශ කළාය.

එමෙන්ම ලබන වසරේ සිට මෙරට පශු සම්පත් සංවර්ධනයට අවශ්‍ය සහයෝගය ද ලබා දීමට මෙම සාකච්ඡාවේදී එකඟත්වය පළ විය.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පත් කෙරෙන විදේශ අරමුදල් මත ක්‍රියාත්මක නව ව්‍යාපෘතියක් වන කෘෂිව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SMALLHOLDER AGRIBUSINESS AND RESILLIENCE PROJECT – SARP) වැඩසටහන යටතේ මේ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිතය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *