පැරිස් සමාජයෙන් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට නිල ණයහිමි කමිටුවක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නිල ණයහිමි කමිටුවක් පිහිටුවා ඇති බව, පැරිස් සමාජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මාර්ගත ක්‍රමය ඔස්සේ පැවති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පළමු රැස්වීමේදී එම තීරණය ගත් බව ඔවුන් වැඩිදුරටත් දන්වා සිටී.

ණයහිමි රටවල් 17ක සහභාගීත්වයෙන් අදාළ කමිටුව පිහිටුවා ඇති අතර ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය එම කමිටුවේ සම ප්‍රධානත්වය දරණ බව සඳහන්ය.
එම පළමු රැස්වීමට ශ්‍රී ලංකා බලධාරීන්ද සහභාගී වී ඇති අතර එහිදී ණය ප්‍රතිව්‍යුගත කිරීමට අදාළ නිල ඉල්ලීම ඔවුන් විසින් සිදුකළ බව පැරිස් සමාජය නිවේදනය කරයි.

ජපානය, ඉන්දියාව සහ ප්‍රංශයේ මූලිකත්වයෙන් ඇරඹි මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළ මූලික සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියා වන චීනය ඇතුළු සියලු ණයහිමියන්ට ආරාධනා කර තිබූ බව සඳහන් අතර, චීනය ද මෙම සාකච්ඡාවට සහභාගි වී තිබේ.

අදාළ සාකච්ඡාව සඳහා චීනය නිරීක්ෂකයෙකු ලෙස සහභාගි වූ බව ජපානයේ ඉහළ පෙළේ මූල්‍ය නියෝජිත මසටෝ කණ්ඩා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී චීන මූල්‍ය ආයතන සඳහා උපරිම සහාය දක්වන බව චින විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ඊයේ (09) පැවති දෛනික මාධ්‍ය හමුවේ දී තවදුරටත් ප්‍රකාශ කළේය.
එමෙන්ම මේ පිළිබඳ ස්ථීරසාර විසඳුමකට පැමිණීම සඳහා ශ්‍රී ලංකාව සමග සමීප සංවාදයක නිරත වන බව ද ඔහු එහි දී ප්‍රකාශ කළේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *