රට යන අපේ කිතුල්.

ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ එහි නිෂ්පාදන රටවල් හතරකට මේ වනවිට අපනයනය කරයි.

කිතුල් නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා ඇහැලියගොඩ ප්‍රදේශයේ සකස් කරන ලද කිතුල් පියස අද දින (12) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අතින් විවෘත කිරීමට නියමිතය.

එමෙන්ම කිතුල් නිෂ්පාදන කර්මාන්තය තවදුරටත් ඉහළ නැංවීම සඳහා එම ගොවි ජනතාව හමුවී ඔවුන්ට අවශ්‍ය උපකරණ කට්ටල බෙදා දීම ද අද අමාත්‍යවරයා අතින් සිදු කෙරේ.

කිතුල් නිෂ්පාදන අපනයනය මගින් මාසිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට හැකි ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන සඳහන් කළාය.

ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කරනු ලබන කිතුල් පැණි, කිතුල් හකුරු හා කිතුල් රා මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, ඩුබායි, ස්විට්සර්ලන්තය හා ඔමානය ඇතුළු රටවල් හතරකට අපනයනය කරනු ලබයි.

කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලෙහි ආධාර යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘතියකි.

එමෙන්ම දැනට පවුල් 600කට අවශ්‍ය තාක්ෂණය, මුල්‍ය ආධාර හා නිෂ්පාදන අලෙවි කිරීමට හැකි වෙළෙඳපොළ හඳුන්වා දීම මගින් ඉතාමත් සාර්ථකව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් කිතුල් නිෂ්පාදන අපනයනය කිරීම මගින් මාසිකව එක් කිතුල් ගොවියෙක් රුපියල් එක් ලක්ෂ පනස්දහසක ආදායමක් උපයන බව ද අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මීට අමතරව ඇහැලියගොඩ බිම්මල් ව්‍යාපෘතිය, හා අපනයනය පදනම් කර ගනිමින් පවත්වාගෙන නයි මිරිස් ව්‍යාපෘතිය ද අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කිරීමට නියමිතය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *