ක්‍රිකට් නඩුවෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ක්‍රීඩා ඇමති වරයා විසින් ගොනුකළ පෙත්සම් විභාගයට පත්කළ විනිසුරු මඩුල්ලෙන් අද තවත් විනිසුරුවරයෙකු ඉවත්වී තිබේ. ඒ අනුව එම පෙත්සම විභාග කිරීම සඳහා යලිත් නව විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

මෙම පෙත්සම අද ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු නීල් ඉද්දවෙල සඳහන් කළේ තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවය.

ඒ අනුව එම පෙත්සම් විභාගය වෙනුවෙන් නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න වෙත යොමු කෙරුණි. මෙම නඩු විභාගයෙන් මේ වන විට විනිසුරුවරු තුන් දෙනෙකු ඉවත් වී තිබේ.

අනතුරුව මෙම පෙත්සම නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අභියාචනාධිකරණය සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අනුව අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී එන් සමරකෝන් යන නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියම කරන බව අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයා සඳහන් කළේය. එ අනුව ලබන සඳුදා (20) මෙම පෙත්සම නැවත සළකා බැලීමට නියමිතය.