ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක අති නවීන හමුදා සන්නිවේදන වාහන ශ්‍රී ලංකා යුධ හමුදාවට

චීන ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක් වටිනා ‘හදිසි විධාන සහ සන්නිවේදන පද්ධති වාහන රථ පෙළ’ (මෝටර් රථ 11) ඊයේ (අගෝස්තු 22) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් යුධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී නිල වශයෙන් භාරගන්නා ලදි.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් , ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂෝ බෝ විසින් චීන හමුදාවෙන් යුධ හමුදාවට සිදුකළ මෙම පරිත්‍යාග භාර ගැනීමෙන් අනතුරුව, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙත භාර දුන් අතර, එහිදී ඔහු සංකේතාත්මකව එහි යතුරු යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත පිළිගැන්වීය.

මෙහිදී ශ්‍රී ලංකා ආරක්‍ෂක ප්‍රධානීන් සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් එම ස්ථානයේ වාහන පරීක්‍ෂා කළ අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් සුගත් රත්නායක සහ ශ්‍රී ලංකාවේ චීන ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂෝ බෝ රටවල් දෙක අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

ඉදිරියේදී අභ්‍යන්තර ආරක්‍ෂාව සහ විශේෂ රාජකාරි සඳහා මෙම ඉතා දියුණු හමුදා මෝටර් රථ යෙදවීමට ශ්‍රී ලංකා යුද හමුදාව අදහස් කරයි.

මෙහිදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් ශ්‍රී ලංකා යුධ හමුදාව වෙනුවෙන් චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂෝ බෝ වෙත සුහදතාවයේ සංකේතයක් ලෙස සහ උත්සවය සංකේතවත් කිරීම සඳහා සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *