අවුරා ලංකා සංදර්ශන වලට විරෝධය

ප්‍රසිද්ධ විනෝදාත්මක වැඩසටහන් ඉදිරිපත් කළ සමාගමක් වන අවුරා ලංකා මගින් අනුරාධපුර යාය 18 ප්‍රදේශයේ සංවිධානය කර ඇති සංගිත සැණකෙලියට එරෙහිව ප්‍රදේශවාසින් ඇතුළුව සංවිධාන රැසක් ඒකාබද්ධ උතුරුමැද දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණි කර ඇත. 

අනුරාධපුර රාජාංගනය යාය 18 ප්‍රදේශයේ අඛණ්ඩව දින දහයක්  පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන මෙම සංගීත සැණකෙළියක් මගින් ප්‍රදේශවාසීන්ටත් වන සතුන්ටත් ඉමහත් පීඩාවක් එල්ලවන්නේ යැයි කියමින් ඒ සඳහා අවසර නොදෙන්නැයි ඉල්ලමින් සිවිල් සංවිධාන රැසක් ඒකාබද්ධව මෙම පැමිණිල්ල සිදු කර තිබේ. 

මෙම ලිපිය යොමුකර ඇත්තේ රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානය, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය, ලංකා ගුරු සංගමය ,රාජාංගනය යාය 18/13 ගම සුරැකීමේ සංවිධානය හා අනුරාධපුර අපි පුරවැසියෝ යන සංවිධාන හා වෘත්තිය සමිති ඒකාබද්ධවය. 

මෙම ප්‍රසංගයට ඇබ්බැහි වී සිටින තරුණ තරුණියන් එය නැරඹීමට මුදල් සොයා ගැනීමේ අරමුණෙන් ප්‍රදේශයේ වතුවල තිබෙන කෙසෙල් කැන් කපමින් පොල් කඩමින් සොරකම්වල නිරතවීම  නිසා ප්‍රදේශයේ දුරාචාර බහුල වී සාමයට තර්ජනයක් වී ඇතැයි එම ලිපියේ අවධාරණය කර තිබේ.

වනජීවී දෙපාර්තමේන්තුවේ අවසරයක් ලබා නොගෙන මෙම ප්‍රසංගය පවත්වන ප්‍රධාන වේදිකාව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපය තුළ ඉදිකරමින් ඇතැයි ද එහිදී අධිබල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය, මල් වෙඩි සහ රතිඤ්ඤා දැල්වීම සිදු කරන බැවින් එයින් වනජිවින් දැඩි ලෙස පිඩාවට පත්වනු ඇතැයි ද සංවිධාන චෝදනා කරයි. 

අනුරාධපුර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, රාජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයා, රාජාංගනය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා, අනුරාධපුර වනජීවී අධ්‍යක්ෂවරයා සහ ලංකා විදුලි බල මණ්ඩලයේ උතුරුමැද පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාට ද මේ ගැන ලිපි යොමු කර තිබේ. 

ඒවායේ පිටපත් ජනාධිපතිවරයාට අගමැතිවරයාට සහ අධ්‍යාපන ඇමැතිවරයාට ද යොමු කොට ඇත. 

එම උත්සවය නතර කිරීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයකින් මෙතෙක් නියෝගයක් ලැබී නැතැයි ඔහු සදහන් කළේය. 

එය සිවිල් කටයුත්තක් බැවින් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට පොලිසියට හැකියාවක් නැතැයි ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මාක් සිල්වා