කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් දැඩි අවධානයෙන්

තායිවානය චීනයේ ප්‍රාන්තයක් පමණක් බවට කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් දැඩි අවධානය යොමු කර ඇති බව තානාපති ආරංචිමාර්ග අනාවරණය කරයි.

මේ සම්බන්ධයෙන් සමීපව අවධානය යොමු කිරීමට අදාල රටවල මෙරට පිහිටි තානාපති කාර්යාල කටයුතු කරමින් සිටින බවද තානාපති ආරංචිමාර්ග පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඊයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළේ එක් චීනයක් ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කිරීමට රජය කටයුතු කරන බවය.

“ශ්‍රී ලංකා රජය එක් චීනයක් ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කර ඇති අතර එමගින් නීත්‍යානුකූල චීනය ලෙස මහ්න චීන සමූහාණ්ඩුව පමණක් පිළිගන්නා බවත්, තායිවානය චීනයේ එක් පළාතක් ලෙස පිළිගන්නා බවත්, අදහස් කරනු ලබයි. ශ්‍රී ලංකා රජයේ එකී ප්‍රතිපත්තිය තවදුරටත් ඒ අයුරින්ම අනුගමනය කරමින් ඊට අනුගතව කටයුතු කරන බවට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යතුමා දක්වන ලද කරුණු දැක්වීම සදහා එකගතාවය දැක්වීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදෙන ලදී” යනුවෙන් ඊයේ ප්‍රකාශයට පත් කළ කැබිනට් තීරණවල සදහන් විය.

තායිවානය චීන සමූහාණ්ඩුවෙන් වෙන්ව වෙනම රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමට උත්සාහ ගන්නා අතර චීනය එයට දැඩි විරෝධය දක්වා සිටී. තමන්ගේ රාජ්‍යයේ ප්‍රාන්තයක් ලෙස පමණක් ලෙස තායිවානය සැලකීමට චීනය කටයුතු කරන අතර ඇමරිකාව ඇතුළු බටහිර රටවල් තායිවානය වෙනම රාජ්‍යයක් ලෙස කටයතු කිරීම සදහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික සහාය ලබාදෙයි