අද ලෙඩ වෙන තැපැල් සේවකයින්

ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ සිට අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

අද (13) මධ්‍යම රාත්‍රීය දක්වා දිවයින පුරා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කරනවා.

මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ අරමුණ තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟයට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන් දැනුවත් කිරීම බව ඒ මහතා පවසනවා.

කෙසේනමුත් වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා ප්‍රකාශ කරනවා.

අදාළ ගැටලුවට විසඳුම් ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින අවස්ථාවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම පිළිගත නොහැකි බවයි තැපැල්පතිවරයා පවසන්නේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි සෑම පියවරක්ම ගන්නා බව තැපැල්පතිවරයා පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!