මහනායක හිමි ජනපතිගෙන් කළ විශේෂ ඉල්ලීම මෙන්න

අද (27) උදෑසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ උන් වහන්සේ ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටියා.

උද්ඝෝෂණය කරන පිරිසගේ ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කර ඒ සදහා විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙසයි මල්වතු මහ නා හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ.

එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ වැටුප් විෂමතාවක් සිදු නොවන අයුරින් රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා ලබන වසරේ සිට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බවයි.

එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම් සම්බන්ධයෙන් මේ වන විට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා කමිටුවක්ද පත්කර ඇති බව සඳහන් කළා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසුවා.

“ගුරුවරුන්ට නැවත වැටුප් වැඩි කිරීමකට අවශ්‍ය පහසුකම් සලසා දිය හැක්කේ ලබන වසරේ දි. ඒ පිළිබඳ අප ඔවුන්ව දැනුවත් කර තිබෙනවා. ඒ වගේම අනෙක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව ද සලකා බැලීමට සිදුවෙනවා. මොකද 2022 වසරේදී ගුරුවරුන්ට රුපියල් 3000-17000ත් අතර ගණනකින් වැටුප් වැඩිවීමක් සිදුව තිබෙනවා.

ඉන් පසුව ඔවුන්ට මේ වසරේ රුපියල් දසදහක වැටුප් වැඩිවීමක්ද සිදු වුණා. ඒ අනුව බැලූවිට රුපියල් 13000- 27000ක වැටුප් වැඩිවීමක් සිදුව තිබෙනවා. එම නිසා අනෙක් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ද සාකච්ඡා කළ යුතුයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව 2025 වසරේ සිට රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම එක් ක්‍රමවේදයක් අනුව සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සොයා බැලීමට මේ වනවිට කමිටුවක්ද පත් කර තිබෙනවා”.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!