කපාකොටා තිදරු මවක් මරා දමලා – ඇහැලියගොඩින් ඇසෙන ඛේදවාචකය

ඇහැලියගොඩ, ඇරෑපොල ප්‍රදේශයේ වයෝවෘද්ධ අඹුසැමි යුවලක් සිටි නිවසකට කිසියම් පිරිසක් පැන එහි සිටි අඹු සැමියන් තියුණු ආයුධයකින් කපා කොටා ඇති අතර බරපතල ලෙස තුවාල ලැබූ කාන්තාව එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ජයසිංහ මුදියන්සේලාගේ චන්ද්‍රලතා අයරින් නමැති 74 හැවිරිදි තිදරු මවක්.

පොලිසිය පවසන්නේ අදාළ පිරිස නිවසේ තිබූ දෑ කොල්ලකෑමේ අරමුණින් නිවසට ඇතුළු වී මෙම වයෝවෘද්ධ අඹුසැමි යුවළ කපාකොටා ඇති බවයි.

එම නිවසේ සිටි පුරුෂයා ද තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව ඇති අතර ඔහු ද ඝාතනය වන්නට ඇතැයි සිතා එම නිවසේ නානකාමරය අසල අතපය ගැටගසා කොල්ලකරුවන් පලා ගොස් අති බවත් නමුත් එම පුද්ගලයා මියගොස් නොතිබූ බවත් පොලිසිය වැඩිදුරටත් පවසනවා.

වයස අවුරුදු 76ක් වූ විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු වූ අදාළ පුරුෂයා තුවාල ලබා බරපතල තත්ත්වයෙන් සිටි ඇති අතර ඔහුව ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම අඹු සැමියන් යුවලගේ දරුවන් දෙදෙනෙකු විදේශගතව පදිංචිව සිටින බවත් එක් දියණියක් කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් මෙම අඹුසැමි දෙපළ පමණක් අදාළ නිවසේ පදිංචිව සිට ඇති බවත් පැවසෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!