අනධ්‍යයන සේවකයන්ගේ වර්ජනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද (24) සහ හෙට (25) අසනීප නිවාඩු වාර්තා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඔවුන් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම ක්ෂණිකව කළ නොහැකි බවයි.

රජයේ ඒකාබද්ධ සේවා සහ ඒකාබද්ධ නොවන සේවා (පළාත් පාසල් හා ජාතික පාසල්) ලෙස අධ්‍යාපන අනධ්‍යයන සේවක පිරිස කොටස් දෙකක් සිටින බවත් මෙම සේවක පිරිස් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම ක්ෂණිකව කළ නොහැකි බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වාදෙනවා.

පාසල් අනධ්‍යයන සේවක ගැටලු‍ ගණනාවකටම පසු ගිය වර්ෂ දෙක තුළ බොහෝ විසඳුම් ලබා දී ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

මෙවන් පසුබිමක් තුළ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හුදු දේශපාලන ප්‍රවේශයක් ලෙස සලකන බවයි එම අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.

පාසල් අනධ්‍යයන සේවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා සාමාන්‍ය අධ්‍යාපනය අඩාළ වීමට ඉඩ දිය නොහැකි බැවින් මේ සම්බන්ධයෙන් පළාත් බලධාරීන්, විදුහල්පතිවරුන් සහ පාසල් ප්‍රජාව දැනුම්වත් කර ඇති බව ද එම නිවේදනයේ දක්වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!