කොරියානු E8 වීසා ප්‍රශ්නය ගැන හිටපු ඇමති මනුෂගෙන් විශේෂ නිවේදනයක්

කොරියාවේ කෘෂි කාර්මික අංශයේ සෘතුමය රැකියා අවස්ථා සදහා වීසා ලැබුණ ශ්‍රමිකයින් ස්වං ක්‍රමයට හෝ රැකියා ඇනවුමකස් ආකාරයට රැකියා ගත කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් අනාගතයේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට මෙම රැකියා අවස්ථා අහිමිවී යා හැකි බවත් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටි අවස්ථාවේ රටේ විනිමය සංචිතය ඉහළ නංවා ගැනීමට තිබූ කඩිනම් සහ කාර්යක්ෂම ක්‍රමය වූයේ විදෙස් ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඉහළ නංවා ගැනීම බවත් එබැවින් ශ්‍රී ලාංකිකයන්ට විවෘතව නොවුනු විදේශ රැකියා අවස්ථාවන් විවෘත කරගැනීමට විෂයබාර අමාත්‍යවරයා ලෙස තමා පෞද්ගලිකව මැදිහත්වූ බවත් හිටපු කම්කරු සහ විදේශරැකියා අමාත්‍ය මනුෂ නානායකකාර නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

කොරියාවේ නැව් ඉදිකිරීම්, කෘෂි ක්ෂේත්‍රයේ, සෘතුමය රැකියා සහ ඊශ්‍රායල් රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයනට උදාකර ගැනිමට හැකිවූයේ ඒ අනුව බවත් මේ සෑම රැකියාවක්ම ඉහළ වැටුප් සහ ආකර්ශණීය සේවා කොන්දේසි සහිත ඒවා බවත් හිටපු අමාත්‍යවරයා සදහන් කරයි.

කොරියාවේ ඊ 8 කාණ්ඩයේ වීසා සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ විශාල කතාබහක් ඇතිව තිබේ. සෘතුමය රැකියා අවස්ථා සදහා වන ඊ 8 කාණ්ඩයේ රැකියා අවස්ථාවන් ලෝකයේ රටවල් කිහිපයකට විවෘත වී තිබුණත් ලංකාවට එය විවෘත වී තිබුණේ නැත.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ ඇතැම් පාර්ශවයන් විවිධ උපක්‍රම භාවිතා කරමින් මෙම වීසා යොදාගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව රැකියා සදහා පිටත් කර යමන බවයි. අනාරක්ෂිත සහ නීති විරෝධී ආකාරයට කොරියානු රැකියා සදහා පුද්ගලයින් පිටත්ව යාම සම්බන්ධයෙන් මෙරට සිටින කොරියානු තානාපතිනිය කැදවා අප කරුණු විමසූ අතර ඇයගේ ප්‍රතිචාරය වූයේ කොරියාවෙන් වීසා ලැබුණ පසුව ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවරක් නොමැති බවයි. එම වීසා කොරියාවෙන් නීත්‍යනුකූලව නිකුත් කරන බවද කොරියානු තානාපතිනිය අවධාරණය කර තිබුණි.

මේ පිළිබද වැඩිදුරටත් කරුණු සොයා බලා කොරියාවේ සෘතුමය රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකික තරුණයින්ට ලබාදිය යුතු බවට වන ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබීය. ඉන් පසුව කොරියාවේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් හමුවී සෘතුමය රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදෙන ලෙසට වන ඉල්ලීමක් කරනු ලැබීය.

මෙම රැකියා අවස්ථා ලබාගැනීම සදහා කොරියාවේ ප්‍රාන්ත සහ ලංකාවේ පළාත් සභා අතර ගිවිසුමක් ඇති කරගත යුතු බවට කොරියානු ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් පැහැදිළි කරනු ලැබීය. ඒ අනුව කොරියානු ප්‍රාන්ත ආණ්ඩු සහ ලංකාවේ පළාත් සභා අතර ගිවිසුමක් ඇති කරගැනීමට උත්සාහ ගත් නමුත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ලංකාවේ පළාත් සභාවකට විදේශ රටක් සමග ගිවිසුම් ඇති කරගැනීමට නොහැකි බව කැබිනට් ලේකම්තුමන් පැහැදිළි කරනු ලැබීය.

ඒ අනුව ලංකාවේ පවතින නීතිමය තත්වයන් පිළිබද කොරියානු ප්‍රාන්ත ආණ්ඩු දැනුවත් කළ අතර අදාල නීතිමය තත්වයන් නිරාකරණය කරගන්නා තෙක් ඊ 8 කාණ්ඩයේ රැකියා සදහා ලංකාව සමග අවභෝධතා ගිවිසුමකට එළඹීමට සූදානම් බවට කොරියාව ප්‍රතිචාර දැක්වූවේය. ඒ අනුව අවභෝධතා ගිවිසුමක් අත්සන් කළේය.

සෘතු පදනම් කරගෙන ක්‍රියාත්මක වන මෙම රැකියා අවස්ථාවන් ලංකාවේ ශ්‍රමිකයින්ට විවෘත කරනු ලැබුවේ අත්හදාබැලීමේ ව්‍යාපෘතියක් ලෙසය.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කැදවා ඊ 8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් කොරියාව බලා පිටත් කර යැවීම සදහා අවශ්‍ය ක්‍රමවේදය සකස් කරන ලෙසට උපදෙස් දුන්නේය. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ සදහා වන චක්‍රලේඛයක් නිකුත් කළ අතර එමගින් ස්වයං මාර්ගයෙන් ඊ 8 කාණ්ඩයේ රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් වීම අත්හිටුවා ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා ශ්‍රමිකයින් පිටත් කර යැවීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනු ලැබීය.

එහෙත් නිකුත් කළ චක්‍රලේඛයේ පැවති යම් යම් අඩුපාඩු නසා ශ්‍රමිකයින් කොරියාව බලා පිටත් කර යැවීමේ නෛතික ගැටලු මතුවිය. ඒ සමගම මැතිවණ කාලය ආරම්භ වූ අතර තමන් නිකුත් කළ චක්‍රලේඛය අවලංගු කර වීසා ලැබූ අය ස්වයං ක්‍රමයට කොරියාව බලා පිටත් කර යැවීමට අවශ්‍ය පියවර ගැනීමට කාර්යාංශය එකගත්වය පල කළේය. එහෙත් අවසන් මොහොතේදී එය ක්‍රියාත්මක නොවීය.

ඒ අනුව මෙම ශ්‍රමිකයින් පිටත් කර යැවීම සදහා නිසි ක්‍රමවේදයක් සකස් නොවීම නිසා ගැටලු රැසක් මතුවිය.

මෙම රැකියා අවස්ථා මා හට පුද්ගලිකව ලැබුණ රැකියා අවස්ථා නොවේ. මා පුද්ගලිකව මේ සදහා ඉල්ලීම් කිරීමෙන් පසුව විධිමත් ක්‍රමවේදයන් ඔස්සේ අදාල රැකියා අවස්ථා හිමිව තිබේ.

දැන් කළ යුතුව ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත ස්වයං ක්‍රමයට හෝ රැකියා ඇණවුමක් ආකාරයට හෝ වීසා ලැබුණ පිරිස කොරියානු කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ සෘතුමය රැකියා සදහා පිටත් කර යැවීමයි. එසේ නොවන්නේ නම් අනාගතයේදී මෙම රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අහිමිවී යාමයි.