සතොස ගැන ජොන්ස්ටන්ට එරෙහි නඩුව විභාගයට නියෝග

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සතොස සේවකයන් රාජකාරි කටයුතුවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා එල්ල කර පවරා තිබූ නඩුව විභාගයට ගැනීමට එරෙහිව විත්තිය මතු කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා එම නඩුව විභාග කිරීමට නියෝග කර තිබෙනවා.

2010 – 2015 දක්වා කාලය තුළ දී ආහාර, සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ රාජකාරි කටයුතුවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතු සඳහා සතොස සේවකයන් 39 දෙනෙකු යොදා ගත් බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ අනුව සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර එම ආයතන මඟින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතුවල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නඩු පවරා තිබෙනවා.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනා පත්‍රයේ අයථා ගෙවීම් කළ තැනැත්තන් 39 දෙනෙකු ගැන සඳහන් වුවද ඔවුන්ගේ නම් හෝ කළ ගෙවීම් පිළිබඳ චෝදනා පත්‍රයේ හෝ නඩු භාණ්ඩ ලේඛනයේ සඳහන්ව නොතිබීම ගැන මූලික විරෝධතාවක් මතු වුණා.

අදාළ තොරතුරු නඩුව සමඟ ඉදිරිපත් කළ දෘඪ තැටියක් මඟින් විත්තියට දී ඇති බව පැමිණිල්ල කියා සිටි අතර එහි ලිඛිත පිටපතක් වහාම පැමිණිල්ලට දීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව පවත්වා ගෙන යෑමට නියෝග කළා.

සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් නඩුවේ සෙසු විත්තිකරුවන් වෙනවා.

නඩුව මීට පෙර කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් මූලික විරෝධතාවයක් මතු කරමින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාම අත්සන් කොට නොමැති බව දන්වමින් නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශ්වයෙන් මූලික විරෝධතාවයක් ද මතු කරනු ලැබුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!