පළමු පුහුණු තරගයේදී ශ්‍රී ලංකාව නෙදර්ලන්තය හමුවේ පරාද වෙයි

T20 ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වෙන පළමු පුහුණු තරගය ඊයේ (28) පැවැත්වුණා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතරයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට නෙදර්ලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 20ක පරාජයක් ලැබීමට සිදුවුණා.

අමෙරිකාවේ ෆ්ලෝරිඩා හිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවි ලකුණු 181ක් රැස්කර ගත්තා.

ඩිල්ෂාන් මධුෂංක ලකුණු 39කට කඩුලු දෙකක් දවගත්තා.

ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදීද නෙදර්ලන්තය සමග තරගයක් පැවැත්වෙන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් වන වනිඳු හසරංග, මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ පන්දු යවා තිබුණේ නැහැ.

ලකුණු 182ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5කදී සියලුදෙනා දැවි රැස්කරගත හැකි වූයේ ලකුණු 161ක් පමණයි.

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දි වනිඳු හසරංග පන්දු 15කින් ලකුණු 43ක් රැස්කිරීමට සමත්වුණා.

දසුන් ශානක පන්දු 20කදී නොදැවී ලකුණු 35ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 31ක් රැස්කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරගය එළැඹෙන 31 වැනිදා අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!