උද්දිකගේ වාහනයට වෙඩි තිබ්බේ පොලිසියෙන් ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබූ ආකාරය ගැන මේ වන විට හෙළිවී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ අදාළ වෙඩි තැබීමේ සිද්ධිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමග එක්වී සැලසුම්සහගතව සිදු කළ ක්‍රියාවක් බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා මේ බව අනාවරණය කළේ ඊයේ (13) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 17 වනදා අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථය ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

එම වෙඩි වැදීමෙන් මෝටර් රථයේ පිටුපස පැති වීදුරුවට අලාභ හානි සිදුවී තිබූ අතර මන්ත්‍රීවරයාට කිසිදු අනතුරක් සිදුවී තිබුණේ නැහැ.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ අතර සිද්ධියට අදාළ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!