චීනෙන් ලංකාවට ගෙවල්

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය නඟා සිටුවමින් මහජන චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස නිවාස ඒකක 1888ක් ද කලා කරුවන් සඳහා නිවාස ඒකක 108ක් ද ඉදිකිරීම ආරම්භ විය. මේ සඳහා චීන රජය වෙතින් චීන යුවාන් මිලියන 552 (රුපියල් බිලියන 22) මූල්‍ය ආධාර ලෙස ශ්‍රී ලංකාවට ලබා දෙනු ලැබේ. 

එහි සමාරම්භක අවස්ථාව ලෙස පළමු අදියරේ ව්‍යාපෘතිය මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ නිවාස 575ක් ද කොට්ටාව  ප්‍රදේශයේ කලාකරුවන් වෙනුවෙන් නිවාස 108ක් ද ඉදිකිරීමට යෝජිතය. එහි සංකේතාත්මක අවස්ථාව අද දින මොරටුව නිවාස ව්‍යාපෘති ස්ථානයේ පැවැත්වුණි.

මෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියයි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කිව් සෙන් හොන් (QI ZHEN HONG) මහතා සමඟ එහි නියෝජිතයන් ද නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා, අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මහතා සහ නාග  රික සංවර්ධන අධිකාරියේ සභාපති එල්.වී. කුමුදුලාල් මහතා ඇතුළු නිළධාරීන් රැසක් ද මෙම සමාරම්භක වැඩසටහනට සහභාගි විය. 

මෙහි පළමු අදියර වන මොරටුව හා කොට්ටාව නිවාස ව්‍යාපෘති දෙකෙහි ඉදිකිරීම් සමාගම් වනුයේ චයිනා රේල්වේ 25 වන කාර්යාංශය (China Railway 25th Bureau Group) දෙවන අදියර ලෙස දෙමටගොඩ ව්‍යාපෘතිය නිවාස 586ක් සහ මහරගම නිවාස ව්‍යාපෘතිය නිවාස 112ක් ඉදිකිරීම චයිනා හාර්බර් ඉංජිනේරු සමාගම (China Harbor Engineering Company) වෙත පැවරී ඇත. 

මෙහි තුන්වන අදියර ලෙස පෑලියගොඩ ව්‍යාපෘතිය නිවාස 615ක් සන්ක්ෂි ඉදිකිරීම් ආයෝජන සමාගම (Shanxi Construction Investment Group) විසින් සිදු කිරීමට නියමිතය. 

ඒ අනුව තෝරාගත් ස්ථාන 05ක ආරම්භ වන මෙම නිවාස ව්‍යාපෘති මාස 36කින් සාදා නිම කිරීමට සැලසුම් කර ඇත. 

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සමීප සහ කල්පවත්නා සබඳතාව පිලිඹිබු කරමින් අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.