කෘතීම බුද්ධි තාක්ෂණය අපිටත් අදාළයි – අධ්‍යාපන ඇමතිගෙන් අලුත් කතාවක්

විසි එක් වන සියවසේ සියලු ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය අදාළ වන බව හා අප රට ද ඊට මුහුණ දීම අනිවාර්ය කාරණයක් වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ අනුව කෘත්‍රිම බුද්ධියත් සමග ලොව නැගී එන තාක්ෂණික විෂය ධාරාවන් වූ නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, තොරතුරු තාක්ෂණය වැනි නව තාක්ෂණ විෂයන් පිළිගැනීම සඳහා අප සූදානම් විය යුතු වුවත් අපගේ සූදානම තවමත් පවතින්නේ ලොව අන් රටවලට සාපේක්ෂ ව වසර 15 ක පමණ පිටුපසින් බවත් ඒ මහතා එහිදී සඳහන් කළා.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශය හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව තෝරා ගන්නා ලද පාසල් 100 ක කෘතිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ (Al Clubs) ආරම්භ කිරීමේ සමාරම්භක වැඩසටහනට අරලියගහ මන්දිරයේදී එක් වෙමින්.

මෙම අවස්ථාවට තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැතිතුමා ද එක්ව සිටියා.

වෙනත් රට වලට සාපේක්ෂ ව කොවිඩ් වසංගත සමයේ පවා සියලු රජයේ සේවකයන්ගේ වැටුප් අඛණ්ඩව ගෙවූ බවත් අතපසු වූ ඉගැන්වීම් ආවරණයට අමතර කාලයක් වැඩ කරන ලෙස ගුරුවරුන්ට බලපෑමක් සිදු නොකළ බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී පැවසුවා.

88 – 89 භීෂණ යුගය වැනි අසීරු කාල පරිච්ඡේද පසු කරමින් පැමිණ ඒ අතීත පාඩම් අමතක කර දමා වේගයෙන් ඉදිරියට ඇදී යන නව ලොව තාක්ෂණික ප්‍රවණතා කෙරෙහි ද තැකීමකින් තොර ව ගුරු වෘත්තීය සංගම් ලෙඩ වීම ඉතා ඛේදනීය තත්වයක් බව ද ඒ මහතා පැවසුවා.

අධ්‍යාපනයේ ප්‍රධාන කුළුනු තුන වූ දැනුම, කුසලතා හා ආකල්ප අතරින් දැනුම ලබා ගැනීමේ දැනුම් මූලාශ්‍ර අද ඉතා සුලබ ව පවතින බවත් උපකාරක පන්ති ද එවන් එක් මූලාශ්‍රයක් වී ඇති බවත් අවධාරණය කළ අමාත්‍යවරයා වෘත්තීය සංගම්වලට මේ සම්බන්ධ අවබෝධයක් ලබා දීම වෙනුවෙන් ලොව වෙනත් රටවල් නිරීක්ෂණය කිරීමේ අවකාශ විවර කර දීම කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා අවශ්‍ය ව ඇති බවත් අධ්‍යාපන අමත්‍යවරයා සඳහන් කළා.

ඉදිරි දශකයක කාලය ඇතුළත මේ වන විට පවත්නා රැකියා වෙළෙඳපොළ මුළුමනින් ම වෙනස් වන අතර කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මග නො හැර එයත් සමග අපට අනාගතය කරා පියවර තබන්නට සිදු වීම අනිවාර්ය බවත් එහි දී හමුව වන බාධක ජය ගනිමින් අභියෝග හමුවේ නොසැලෙන නායකත්වයක් ප්‍රකට කළ යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!