ගෝඨා ගෝ ගම සමයේ ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අධිකරණයෙන් නියෝගයක්

ගාලුමුවදොර “ගෝඨා ගෝ ගම” අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරය අවට මාර්ගවල උල් සහිත අනතුරුදායක මාර්ග බාධක රඳවා තැබීම තුළින් මහජනතාවට හිරිහැරයක් සිදු වී ඇති බවත් ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් සඳහන් කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් පිළිබඳ විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) තීන්දු කර තිබෙනවා.

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පොලිස්පතිවරයා සහ නීතිපතිවරයාට මාර්තු මස 04 වනදා කරුණු දක්වන ලෙසට දන්වා නොතිසී නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

නීතිඥ සේනක පෙරේරා මහතා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

පෙත්සම්කාර නීතිඥවරයා පවසන්නේ ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරය අවට මාර්ගවල මහජනතාවට අනතුරුදායක උල් සහිත මාර්ග බාධක රඳවා තැබීමට පොලීසිය කටයුතු කළ බවයි.

මෙවැනි අනතුරුදායක මාර්ග බාධක රඳවා තැබීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් කෝටි 05ක වන්දියක් අය කර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!