ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද – ආරක්ෂාවත් තදටම

2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 9.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාල ශ්‍රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ .

එහිදි විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් භාරගැනීමේ කාලය ඊයේ (14) පස්වරු 12.00න් අවසන් වූ අතර ඒ අනුව අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

නාමයෝජනා භාරගැනීමේ කටයුතුවලින් අනතුරුව ඉදිරිපත් වූ විරෝධතා සලකා බලා ජනාධිපතිවරණයට තෝරාගනු ලැබූ අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

එහිදී ස්වාධීනව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කිරීම ද සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

මේ අතර නාම යෝජනා පත්‍ර භාරගැනීම වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රය සහ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගනු ලැබුවා.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් නිලධාරීන් 1,000ක පමණ පිරිසක් මෙම ආරක්ෂක වැඩපිළිවෙල සඳහා යොදවා ඇති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!