අතිපුජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමිගේ අවමංගල පූජෝත්සවය සඳහා විශේෂ රථ වාහන සැලැස්මක්

අතිපුජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ අවමංගල පූජෝත්සවයේ රථ වාහන සැලැස්ම (කොම්පඤ්ඤ වීදිය පොලිස් වසම) පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ 2024.08.02 වන දින අපවත් වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිපුජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේ තැන්පත් කර තිබෙනවා.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය 2024.08.05 වන දින හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව බවයි එම නිවේදනයේ සඳහන් වනවා.

මෙම ආදාහන පුජෝත්සවය සඳහා විශාල ජනකායක් සහභාගී වන බවට අපේක්ෂා කරන නිසා ආදාහන පුජෝත්සවය පැවැත්වෙන 2024.08.05 වන දින පස්වරු 02.00 සිට රාත්‍රී 08.00 දක්වා කාලය තුල රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ අනුව එම කාලය තුළ පහත මාර්ගයන්වල රථවාහන ගමනාගමනය සීමා කරනු ලබන බව පොලිසිය මහජනතාව වෙත දන්වනවා.

රථ වාහන ගමනාගමනය සීමා කරනු ලබන මාර්ග පහතින් දැක්වෙන්නේ.

ධර්මපාල මාවත ජේම්ස් පිරිස් මාවත හන්දියෙන් ජේම්ස් පිරිස් මාවත දෙසට ඇතුල් වීම ( පෙරහැර මාවතෙන් සහ ජිනරථන මා වෙතෙන් විහාරස්ථානයට ඇතුල් වන වාහන හැර)

ජේමිස් පීරිස් මාවත පෙරහැර හන්දියෙන් කොම්පඤ්ඤ වීදිය හන්දිය දෙසට ඇතුලු වීම ( ජිනරථන මාවතෙන් විහාරස්ථානයට ඇතුල් වන වාහන හැර)

මුත්තයියා පාරෙන් ජේම්ස් පීරිස් මාවතට ඇතුල් වී කොම්පඤ්ඤ වීදිය හන්දිය දෙසට පමණක් ගමන් කළ හැකියි.

එසේම අල්ටෙයාර් දෙස සිට ජේම්ස් පිරිස් මාවතට ඇතුළු වන වාහන කොම්පඤ්ඤ වීදිය හන්දිය දෙසට පමණක් ගමන් කළ හැකියි.

නවම් මාවත දෙස සිට ජේමිස් පීරිස් මාවතට ඇතුළු වන වාහන කොම්පඤ්ඤ වීදිය හන්දිය දෙසට පමණක් ගමන් කළ හැකියි.

කොම්පඤ්ඤ වීදිය හන්දියෙන් ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වන වාහන නවම් මාවත හන්දිය දක්වා පමණක් ගමන් කළ හැකියි.

මුත්තයියා පාර බේබෲක් හන්දියෙන් මුත්තයියා පාර දෙසට ඇතුලු වීම වසා තිබෙනවා.

එසේම ජිනරථන මාවත පාක් වීදිය හන්දියෙන් විහාරස්ථානය දෙසට ඇතුළු වීම වසා තැබෙනවා.

එමෙන්ම රාමනායක මාවත හුණුපිටිය පාර හන්දියෙන් හුණුපිටිය පාරට ඇතුළු වීම වසා තබන බව එම නිවේදනයේ සඳහන් වනවා.

තවද ආදාහන පුජෝත්සවය සඳහා පැමිණෙන මහජනතාවගේ වාහන නැවැත්වීම සඳහා අල්ටෙයාර් ගොඩනැගිල්ල පිටුපස භූමියේ පහසුකම් සලසා දී ඇති බව සඳහන් වනවා.

2024.08.03 වන අද දින සිට විහාරස්ථානයට ඇතුළු වන සියළුම වාහන ජේම්ස් පීරිස් මාවත, ජිනරථන මාවත හන්දියෙන් ඇතුලු විය යුතුයි.

ඩෝසන් විදියෙන් ජිනරථන මාවතට ඇතුළු වීම වසා තබනු ලබන අතර ජිනරථන මාවතේ වාහන ගමනාගමනය එක් දිශාවකට පමණක් සිදු කරනු ලබනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!