සිනමාවේ නිරත කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කරන බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා පවසනවා.
එසේම සිනමා කර්මාන්තයේ සහ කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් වූ සුදුසු යෝජනා මාලාවක් සකස් කර රජයට ලබා දෙන ලෙස ද ඒ මහතා කලාකරුවන්ගෙන් ඉල්ලීමක් කළා.
ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා මේ බව සඳහන් කර සිටියේ මෙරට සිනමාව නවීන ලෝකයට ගැලපෙන ලෙස යාවත්කාලීන කිරීම සහ කේෂ්ත්‍රයට සම්බන්ධ ශිල්පීන්ගේ වෘත්තීය අනාගතය සුරක්ෂිත කිරීම සම්බන්ධව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනුයි.
“මෙරට සිනමා කර්මාන්තයේ පවතින ප්‍රශ්න සමාජයේ පවතින අනිකුත් ප්‍රශ්න හා සමානයි. මෙරට සිනමාව රැක ගැනීම වෙනුවෙන් ප්‍රවේශ විය යුතු කාලය එළැඹ තිබෙනවා.
ඒ වෙනුවෙන් පොදුවේ අයවැයකට හෝ ප්‍රතිපත්ති මාලාවකට ඉදිරිපත් කළ හැකි යෝජනා පොදු යෝජනා මාලාවක් ඉදිරිපත් කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා. 1993 සිට ආරම්භ වූ කලාකරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප සම්බන්ධව සෑහීමකට පත්වෙන්න බැහැ. එබැවින් එම විශ්‍රාම වැටුප සම්බන්ධව තීරණයක් ගැනීම සඳහා රජයට කරුණු ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
මෙරට සිනමා කර්මාන්තය ආරක්ෂා වීමට නම් කලාකරුවන්ගේ සුබසාධනය ද වැදගත් වනවා. එම නිසා සිනමා කර්මාන්තය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීමට අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් රජයට අවශ්‍ය කරුණු ඉදිරිපත් කිරීමට සුදුසු යෝජනා මාලාවක් ඉදිරිපත් කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා. ” යනුවෙන් ඔහු කියා සිටියා.
ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ සුගත් සමරකෝන්, චිත්‍රපට නිෂ්පාදකවරුන් වන පද්මසිරි කොඩිකාර, රාජ් රණසිංහ, රංගන ශිල්පීන් වන අර්ජුන් කමලනාත්, වසන්ත කුමාරවිල, නදීකා ගුණසේකර ඇතුළු සිනමා කර්මාන්තයේ නියුතු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.