අල්ටෙයාර් ගොඩනැගිල්ලේ ඛේදවාචකය පිටුපස ප්‍රේම සබඳතාවක් ?

කොම්පඤ්ඤ වීදීයේ පිහිටි අල්ටෙයාර් සුපිරි මහල් නිවාස සංකීර්ණනයෙන් ඇද වැටී පාසල් සිසුවෙකු සහ සිසුවියක ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයා විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.

අදාළ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (03) කොළඹ ජාතික රෝහලේ දී සිදුකළ අතර එහිදීයි මෙලෙස විවෘත තීන්දුවක් ලබා දී ඇත්තේ.

මෙය සිය දිවි හානි කරගැනීමක් බවට පොලිසිය සැක කළත් මෙම මරණ තවමත් අභිරහසක් වන අතර තවදුරටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වනවා.

මහල් 70කින් සමන්විත මෙම නිවාස සංකීර්ණයේ 03 වන මහලේ වායුසමීකරණ යන්ත්‍ර සවිකර තිබූ ස්ථානයේ තිබී මොවුන්ගේ මළ සිරුරු සොයා ගැනුණේ පෙරේදා පස්වරුවේදී.

15 වන වියේ පසුවන වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් සහ කැළණිය ප්‍රදේශයේ පදිංචි සිසුවියකයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ .

කොළඹ ජාත්‍යන්තර පාසලක 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන මොවුන් පෙරේදා පාසැල නිමවී කොම්පඤ්ඤ වීදියේ ස්ටැපල් ප්‍රදේශයේ පිහිටි මෙම මහල් 70කින් යුත් සුපිරි මහල් නිවාස සංකීර්ණය වෙත පැමිණ තිබුණා.

එහි 05 වන මහලේ පිහිටි කාය වර්ධන මධ්‍යස්ථානය වෙත ගොස් එම ස්ථානයේදී සිය පාසැල් ඇඳුම් මාරු කර වෙනත් ඇදුම් පැළද 67 වන මහලට පිටව ගොස් ඇති බවයි සී.සී.ටී.වී දර්ශනවල දැක්වෙන්නේ.

පසුව ඔවුන් මහල් නිවාස සංකීර්ණයේ 67 වන මහලට පිටතින් බැසීමට ඇති පඩිපෙළ ගොස් සිය පාවහන් ගලවා මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනද එම ස්ථානයේ තබා තිබෙනවා.

එසේම එම ස්ථානයේ තිබී දුම්වැටි පැකට්ටුවක් සහ හිස් ලියුම් කවරයක් ද පොලිසිය සොයාගෙන තිබුණා.

මෙම සිසුවිය මීට පෙර අවස්ථාවකදීද සියදිවි නසාගැනීමට උත්සහා දරා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මොවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබූ බවට මේවන තෙක් කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බව හා සිදුවීම සිදුවූ දිනයේ සිසුවිය අධ්‍යාපනය ලැබූ පාසලෙන් ඇය ඉවත්කර තිබූ බවත් ඒ ඔස්සේ ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!