ඉන්දීය විදේශ ඇමති ජනපති සමග සාකච්ඡාවක්

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා.

ඉන් අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්හී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරට සංචාරයේ නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා එක්ව, ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ ප්‍රදේශවල ඉදිකෙරුණු නිවාස 106ක් විවෘත කිරීමට අදාළ ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කරනු ලැබුවා.

එසේම කොළඹ සහ ත්‍රිකුණාමලයේ ආදර්ශ ගම්මාන දෙකක ඉදිකරන ලද නිවාස 24 බැගින් භාරදීම ද මීට සුළු මොහොතකට පෙර සිදුකෙරුණා.

එසේම ඩොලර් මිලියන 6 ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) නිල වශයෙන් ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා එක්ව ඊට අදාළ ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කළා.

මෙම සම්බන්ධිකරණ මධ්‍යස්ථානයට කොළඹ නාවික හමුදා මූලස්ථානයේ මධ්‍යස්ථානයක්, හම්බන්තොට උප මධ්‍යස්ථානයක් ඇතුළුව ගාල්ල, ආරුගම්බේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්ලරාව, පේදුරුතුඩුව සහ මොල්ලිකුලම් යන ප්‍රදේශ ආශ්‍රිත මිනිසුන් රහිත සවිකිරීම්ද ඇතුළත් වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!