සිලින්ඩරයේ ජාතික ලයිස්තුවට ෆයිසර් එද්දී වජිරගෙන් බාල්දියක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරිවී ඇති ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය සදහා හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පත් කිරීම පිළිබද තොරතුරු වාර්තාවීමත් සමගින්, එම පෙරමුණේ මහ ලේකම් නීතීඥ ෂාමිලා පෙරේරාට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධනගෙන් විරෝධයක් මතුව තිබේ.

ජාතික ලයිස්තු මන්ත්‍රීධූර පිරවීම සම්බන්ධයෙන් වන තීරණය ගත යුතුව ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකයින් විසින් බවත්, ජාතික ලයිස්තු මන්ත්‍රීධූර පිරවීම සදහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහ ලේකම්වරියට කිසිදු බලයක් ලබාදී නොමැති බවත් වජිර අබේවර්ධන නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එම නිවේදනය මේසේය.

ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කළ අවස්ථාවේදී හවුල්කාර පක්ෂ නායකයින් සාකච්ඡා කර පොදු එකඟතා වලට එළැඹියේය.
ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් වූ පක්ෂය සමග ගිවිසුම්ගත වීමට තීරණය කෙරිණි.
එම පෙරමුණේ ලේකම්වරිය ලෙස ෂර්මිලා පෙරේරා මහත්මියට අදාල එකඟතා ඇතුළත් ගිවිසුම් බාර දෙන ලදී.
අද වන තෙක් ගිවිසුම් වල පිටපත් හවුල්කාර පක්ෂ කිසිවකට ලබාදී නැත.ගිවිසුම ඉදිරිපත් කිරීමද මෙතෙක් කර නැත.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ නායකයන් විසින්ය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරියට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්පූර්ණ කිරීමට කිසිදු බලයක් පවරා නැත.
එම තීරණය උල්ලංඝනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම විශ්වාසය සම්පූර්ණයෙන් කඩ කිරීමකි.දේශපාලන හොරකමකි.
රවී කරුණානායක මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා මේ වන විටත් කමිටුවක් පත්කර තිබේ.කමිටු වාර්තාව ලැබුණු පසු නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂිතය.
ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීම සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ සමග සාකච්ඡා කර නිසි ක්‍රියාමාර්ග ගැනීමටද නියමිතය.