පාප් වහන්සේ නමක් තෝරා පත්කරගන්නා තෙක් ‘දුම් කවුළුවෙන් පිටවන්නේ ‘ කළු පැහැති දුමකි

මේ දිනවල ලෝකයේ සෑම රටකම පාප් වහන්සේ වෙනුවෙන් වන කොඩිය ඇත්තේ අඩ කුඹු කරය. පල්ලියේ නාදවන සීනුව මේ දිනවල නාද වන්නේ නැත. ඒ වෙනුවට නාද වන්නේ මළ සීනුවකි. ලෝකය පුරාම පල්ලි ශෝකී මුහුණුවරක් ගෙන තිබෙන්නේ කතෝලික ලෝකයේ ආගමික නායකයා වන ප්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ස්තවීම නිසාය.

වතිකානුව මේ දිනවල සූදානම් වන්නේ මීලග පාප් වහන්සේ තෝරා ගැනීමටය. පාප් වහන්සේ නමක් ස්වර්ගස්ථවීමෙන් පසුව දින හතරත් දින හයත් අතර කාලයක් ශෝක කාලයක් ලෙස ප්‍රකාශයට පත් කරයි. එම ශෝක කාලයෙන් පසුව පාප් වහන්සේ නමකගේ අවසන් කටයුතු සිදු කරනු ලබන්නේය.

පාප් වහන්සේ නමක් ස්වර්ගස්ථවීමෙන් පසුව උන්වහන්සේගේ අවසන් කටයුතු සිදු කරන්නේ කාදිනල් කමලිංගෝ නමින් හැදින්වෙන හිමිපානන් කෙනෙක් අතිනි. පාප් වහන්සේ නමක් ස්වර්ගස්ථවූ පසුව නිල වශයෙන් එම ස්වර්ගස්ථවීම ප්‍රකාශයට පත් කරන්නේ කාදිනල් කමලිංගෝ විසිනි.

පාප් වහන්සේ නමක් ස්වර්ගස්ථවූ පසුව තමන්ගේ අත පළදින මුදුව මිටියකින් ගසා විනාශ කරයි. ඒ වැදගත් ලේඛනවල පාප් වහන්සේ තමන්ගේ අත්සන යෙදීමෙන් පසුව එය සහිතක කරන්නේ මුදුවේ ඇති සීල් එකකින් වන නිසාය. එම සලකුණ නැවත භාවිතා කිරීමට නොහැකි වන ලෙස එම මුදුව විනාශ කරයි.

පාප් වහන්සේ නමකගේ අවසන් කටයුතු සදහා මුළු රෝමයම සූදානම් වෙයි. ඒ අතරම ලෝකය පුරාම සිටින රාජ්‍ය නායකයින් ඇතුළු බොහෝ දෙනෙක් සහභාගී වන නිසා ඒ සදහා රෝමය ලහි ලහියේම සූදානම් වෙයි.

ලෝකයේම සිටින කාදිනල් හිමිපානන් වහන්සේලා මේ දිනවල වතිකානුවට පැමිණෙමින් සිටින්නේය. මේ වන විට ලෝකය පුරාම කාදිනල් හිමිපානන්වහන්සේලා දෙසීය පනස් දෙනමක් සිටින අතර ඔවුන් සියලුදෙනාම පාහේ පාප් වහන්සේගේ අවසන් කටයුතු සම්පාදනය කිරීමට එක්වීමට නියමිතව තිබෙන්නේය.

දැන් ලෝකයම බලා සිටින්නේ අලුතින් පත්වන පාප් වහන්සේ කවුරුන්දැයි කියාය. නව පාප් වහන්සේ තෝරා ගනු ලබන්නේ ලෝකය පුරාම සිටින කාදිනල් හිමිපානන්වහන්සේලාගේ ඡන්දයකිනි. මේ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන්නේ ලෝකය පුරා සිටින කාදිනල් හිමිපානන්වහන්සේලාගෙන් එකසිය තිස් පස් දෙනෙක්ට පමණි. පාප් වහන්සේ තෝරා ගනු ලබන කොන්ක්‍රේව් නමින් හැදින්වෙන අවස්ථාවට සහභාගීවීමට අවස්ථාව ඇත්තේ වයස අවුරුදු අසූව ඉක්ම නොවූ කාදිනල්හිමිපානන්වහන්සේලාට පමණි.

මේ කාදිනල් වහන්සේලා එකසිය තිස් පස් දෙනා සිස්ටයින් චැපල් යන ස්ථානයට පැමිණේ. සිස්ටයන් චැපල් යනු මයිකල් ආන්ජලෝ විසින් චිත්‍රනය කරන ලද පල්ලියයි.

මෙම ස්ථානයට පැමිණෙන කාදිනල් හිමිවරු ඡන්දය ප්‍රකාශ කරනවා කීවාට එය අපි දකින ආකාරයේ ඡන්දයක් නොවේ. එම ඡන්දය ප්‍රකාශ කරන කාලය පුරාම කාදිනල් හිමිවරු යාඥා කරමින් ඡන්දය ප්‍රකාශ කරයි.

පාප් වහන්සේ නමක් තෝරා ගැනීමට නම් තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයක් තිබිය යුතු එසේ තුනෙන් දෙකක ඡන්ද නොලැබෙන්නේ නම් ඡන්ද පත්‍රිකා පුළුස්සා දමන්නේය. තුනෙන් දෙකක කැමැත්තක් ලැබෙන තෙක් ඡන්ද ප්‍රකාශ කරන්නේය. එසේ තුනෙන් දෙකක ඡන්දයක් ලැබෙන තෙක් ප්‍රකාශ කරන ලද ඡන්ද පත්‍රිකා පුළුස්සා දමන්නේය.

පාප් වහන්සේ නමක් තෝරා පත්කරගන්නා තෙක් වතිකානුවේ දුම් කවුළුවෙන් පිටවන්නේ කළු පැහැති දුමකි. එම දුම සුදු පැහැති දුමක් බවට පත්වන්නේ පාප් වහන්සේ නමක් තෝරා පත්කරගත් පසුවය.

මේ මුළු කාලයම සිස්ටයින් දේවස්ථානය දොරගුලු ලා තිබෙන්නේය. ඒ පිටස්තර කිසිවෙක්ට කාදිනල් හිමිවරු සමග සම්බන්ධවීමට නොහැකි වන ලෙසය. දෙවියන්වහන්සේගේ මග පෙන්වීම මත මීළග පාප් වහන්සේ තෝරා ගැනීමට අවස්ථාව ලබාදීමට එහි අරමුණ වන්නේය.

මීළග පාප් වහන්සේට තුනෙන් දෙකක ඡන්දයක් ලැබුණ පසුව එම ඡන්ද පත්‍රිකා පුළුස්සා දමන්නේය. ඒවා පුළුස්සා දමන්නේ කිසියම් ද්‍රව්‍යක් මුසු කරමිනි. එයින් පිටවන්නේ සුදු පැහැති ධුමාරයකි. එය වතිකානුවේ දුම් කවුළුවෙන් පිටතට යන්නේ අලුත් පාප් වහන්සේ නමක් තෝරා ගත් බවට වන පණිවුඩයද සමගය.

එසේ තෝරාගන්නා පාප් වහන්සේගේ ඉන් පසුව ජනතාව ඉදිරියට පැමිණෙන්නේය. එසේ පැමිණෙන පාප් වහන්සේට අලුත් නමක්ද ලැබෙන්නේය. සාමාන්‍යයෙන් පාප් වහන්සේ නමක් තමන් කාදිනල් හිමිවරයෙක් ලෙස කටයුතු කළ කාලයේදී භාවිතා කළ නම භාවිතා කරන්නේ නැත.

ප්‍රැන්සිස් පාප් වහමන්සේගේ බොර්ගෝලියෝ නම වෙනුවට ප්‍රැන්සිස් යන නම තෝරාගෙන තිබුණි. මේ ආකාරයටම නව පාප් වහන්සේටද තමන්ට නමක් තෝරාගැනීමට හැකියාව ලැබෙන්නේය.

මෙවර පාප් වහන්සේ තෝරා ගැනීම සදහා ලංකාවේ මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන්ද සහභාගී වෙයි. පාප් වහන්සේ තෝරා ගන්නේ ඒ කාදිනල් හිමිපානන් අතරින්ය. ඒ නිසා පාප් වහන්සේනමක් බවට පත්වීමට උන්වහන්සේටත් අවස්ථාවක් තිබෙන්නේය.