හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය රටට ගෙන ඒමේ මහමොළකරු කැබිනට් මණ්ඩලයේ.

ප්‍රමිතියෙන් බාල හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධියේ මහ මොළකරු සිටින්නේ කැබිනට් මණ්ඩලයේ බවත්, හැකිනම් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අභියෝග කරනා බවත් නීතීඥ කාලිංග ඉන්දතිස්ස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඉදිරියේ පැවසූවාය .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉන්දතිස්ස වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ අධිකරණය කුමක් සිතුවත් මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා තවමත් නිදැල්ලේ සිටිනා බවත්, පොලිසිය ඔවුන් අත්අඩංගුවට නොගන්නා බවත් ය.

ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් සැබෑ වැරදිකරුවන් අත්අඩංගුවට නොගෙන අහිංසක ලෙස නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළ තම සේවාදායකයා අත්අඩංගුවට ගත්තේ මන්දැයි ජනාධිපති නීතිඥ ඉන්දතිස්ස විමසා සිටියේය.

සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය ඔහු නොවැම්බර් 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය .