සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරු ඇගයීම් කටයුතුවලින් ඉවතට

මේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් රාජකාරීවල නිරත ගුරුවරුන්ට සංයුක්ත දීමනා ලබා දෙන ලෙසට බලකරමින් අද (12) සවස 2.00 සිට උත්තර පත්‍ර ඇගයීම් කටයුතුවලින් ඉවත්ව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු සංගම් සමග පැවැත්වූ සාකච්ඡා වට ගණනාවක දී සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීමේ රාජකාරීවල නිරත වන ගුරුවරුන්ට සංයුක්ත දීමනාවක් ලබාදීමට පොරොන්දු වූ බව ස්ටාලින් මහතා පෙන්වා දෙනවා.

නමුත් විභාග දෙපාර්තමේන්තුව එම සංයුක්ත දීමනාව ලබාදෙන දිනයක් ප්‍රකාශය නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය, අඛණ්ඩ වර්ජනයක් ලෙස ක්‍රියාත්මක කරන බව ඔහු අවධාරණය කරනවා.

පසුගිය වසරේ උසස් පෙළ ඇගයීම් කටයුතුවලට සහභාගි වූ ගුරුවරුන්ට රුපියල් 2000 -3000ත් අතර සංයුක්ත දීමනාවක් ගෙවූ නමුත් මෙවර සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවලට නිරත ගුරුවරුන්ට එම දීමනාව ලබාදීමේ සූදානමක් නොමැති බවයි ස්ටාලින් මහතා පෙන්වාදෙන්නේ.

උසස් පෙළ ඇගයීම් කටයුතුවල නිරත වූ ගුරුවරුන් එම රාජකාරි කටයුතු සිදු කරන අතරවාරයේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹ බලපෑම් කළ විට සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට ද රුපියල් 2000ක සංයුක්ත දීමනාවක් ලබාදෙන බවට අධ්‍යාපන අමාත්‍යවරයා පොරොන්දු වී තිබෙනවා.

කෙසේ නමුත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතත් වවුචර් මගින් ලැබිය යුතු මුදල් මේ දක්වා නිකුත් කර නොමැති බව හෙතෙම පෙන්වා දෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!